’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’


(අංජුල මහික වීරරත්න)

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවටද මෙම ප්‍රශ්නය නිවැරදිව විසඳිය නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අප්‍රේල් 21 දා පාස්කු  මහමොළකරුවන් හෙළි කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු නො වූයේ වත්මන් ආණ්ඩුව ද මෙම ක්‍රියාවලියට අඩු වැඩි වශයෙන් සම්බන්ධ වී සිටින බැවින් යැයිද රණවක මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පරීක්ෂණ හරියට කළ නොහැකි වූයේ බලයේ සිටි ඇතැම් පුද්ගලයින් සහ රාජපක්ෂවරුන් අතර අදාල සිද්ධියට පැවති සම්බන්ධතා හේතුවෙන් බවද රණවක මහතා කීය.

"අපරාධකරුවන් කවර තරාතිරමක අය වුණත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා මියගිය පිරිස් වලට යුක්තිය ඉටු කරනවා කියන අදහසින් තමයි අනුර ආවේ. නමුත් එවැනි දෙයක් වෙන ආකාරයක් පේන්න නැහැ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.