’’අද විශ්වාසභංග ගේන්නේ රටට සහගහන විනාශය කැඳවූ පිරිසක්’’


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැඩ කරන ආණ්ඩුවකට විරුද්ධව බොරු විශ්වාසභංග ගෙන එමින් අද ලොකු ඝෝෂාවක් නගන්නේ පාස්කු ප්‍රහාරය කැඳවා මේ රටට සහ ගහන විනාශයක් ගෙන ආ පිරිසක් යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය .

මෙය ඇමතිවරුන් තනි කරන ආණ්ඩුවක් නොවන බවත් ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සාමූහික වශයෙන් අද අති විශිෂ්ට ලෙස පරාජය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ සියලු දෙනා එකතුවූ කැබිනට් අනු කමිටුවක් මගින් යැයි කී ගුණවර්ධන මහතා එය ඇමතිවරයෙකු ගත් තීරණයක් නොවේ යැයිද  පැවැසුවේය.

උදය ගම්මන්පිල ඇමතිවරයා මේ රටේ විශිෂ්ට සමත්කම් දැක්වූ ශාස්ත්‍රීය උගත්කමක් ඇති තරුණ දේශපාලනඥයකු බවත් පාර්ලිමේන්තුවකට මෙවැනි හොඳ මිනිසුන්  වැඩි වැඩියෙන් ලැබීම වඩා යහපත් බවත්  බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීමේ සහනය පසුගිය ආණ්ඩුව ජනතාවට ලබා නොදුන් බව පැවසූ ඇමැතිවරයා එම වාසියෙන් ලබාගත්  මුදල්වලට කළේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.

පසුගිය යහපාලන ආණ්ඩුව විනාශය මිස ජනතාවට කිසිදු සහනයක් ලබා නොදුන් බවද ඔහු පැවසුවේය.

අප බාර ගත්තේ මුළුමනින්ම විනාශ කරපු රටක් බවත් යහපාලන නඩය   පාස්කු ප්‍රහාරයෙන්  රට තවත් විනාශ කළ බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ්  මැඩපැවැත්වීම සඳහා  නොකර බැරි කළමනාකරණයක් සඳහා රජය ඉන්ධන මිල සංශෝධන තීරණය ගත් බවද වෙළෙඳ ඇමැතිවරයා පැවසීය.