’හයිබ්‍රිඩ් සුද්දා’ හා සමීප සබඳතා පැවැත්වූ කත රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින, 'හයිබ්‍රිඩ් සුද්දා' නමැති තැනැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකාරියක් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා මහතා අද(03) නියම කළේය.

හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 150 ක් සමඟ සැකකාරිය අත්අඩංගුවට ගත් බවත්, අධිකරණ  නියෝග මත දින 7 ක් පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත් පොලිසිය අධිකරණට කරුණු වාර්තා කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ, ගනේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි නවෝදා ගිම්හානි කොටුගොඩ ලියනආරච්චි නැමැති 28 හැවිරිදි එක් දරු මවකි.

සැකකාරිය රුපියල් ලක්ෂ 27 ක ඉඩමක් සහිත නිවසක් මිලට ගෙන ඇති බවත්, ඇගේ බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 28 ක් තැන්පත් කර ඇති බවත්,  අනාවරණය වී ඇතැයි පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

එම සියලු මුදල් හෙරොයින් ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදල් බවට සැකකරන බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය. සැකකාරියට අයත් බැංකු ගිණුම් සහ ජංගම දුරකතන විස්තර අධිකරණ නියෝග මත ලබා ගෙන ඇති බව පොලිසිය පැවසීය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත, පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.