’වෑලියේ සුරාජ්’ ඇතුළු දෙදෙනා රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)

මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන 'ගනේමුල්ලේ සංජීව' නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු වන 'වෑලියේ සුරාජ්' සහ හිටපු යුද හමුදා සෙබළා 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද (14) නියම කළේය.

මිනුවන්ගොඩ දකුණු වෑලියේ පදිංචි ගල්කැටි දේවගේ සුරාජ් රණවක හෙවත් වෑලියේ සුරාජ් (24) සහ මිනුවන්ගොඩ,පත්තඩුවන වැල්ලේගොඩැල්ලේ පදිංචි දිනුස පරාක්‍රම බණ්ඩාර(21) යන හිටපු යුද හමුදා සෙබළා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

එම සැකකරුවන් දෙදෙනාව එස්.ටී.එෆ්.නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 360 ක් ,
වායු රයිෆල් 1ක්, තියුණු ආයුධ 3 ක් සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට බාර දී තිබිණි. සැකකරුවන් දෙදෙනා දින 7 ක් මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව අද (14) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

සැකකරුවන් දෙදෙනා  සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් නොමැති බව පැමිනිල්ල මෙහෙයවූ මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි මහතා අධිකරණය හමුවේ පැවසීය .සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් සහ ජංගම දුරකතන විශ්ලේෂණ පරීක්ෂා කරමින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතීඥ සරප කරුණාරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.