’මා පක්ෂවලට ප්‍රචාරය දීලා නෑ’


 

(බිඟුන් මේනක ගමගේ) 


සමගි ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂකයකු වූ නීතිඥ එරංග වැලිඅංගේ මහතා කළ ආරාධනයක් අනුව මහමැතිවරණයේ දී ඔහු ගැන ඇගයීමක් කළ නමුත් එය කිසි ලෙසකින් පක්ෂ ප්‍රවර්ධනයක් නොවේ යැයි සඳහන් කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා අද (20) නිවේදනයක් නිකුත් කර ඇත. 


කරු ජයසූරිය මහතා මෙම නිවේදනයය පළ කර ඇත්තේ මහමැතිවරණයේ දී ඔහු සමගි ජනබලවේගයේ අපේක්ෂකයකුට සහාය දීම ගැන පරීක්ෂණයක් කිරීමට එජාපය තීරණය කළ බවට පල වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.


කතානායක ධුරයෙන් සමුගැනීමෙන් පසුව එජාපය සමගි කරවීමට අසාර්ථක උත්සාහයක් ගැනීමෙන් පසු මහමැතිවරණයේ දී ස්වාධීනව සිටීමට කරු ජයසූරිය මහතා තීරණය කළේ යැයි එහි සඳහන් වේ.


එනිසා කරු ජයසූරිය මහතාගේ ක්‍රියාව දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමක් යැයි කියන්නේ දේශපාලනිකව විනාශ වී අවසන් පිදුරු ගසේ එල්ලීමට උත්සාහ දරන්නන් පිරිසක් යැයි ද තම නිවේදනය මගින් කරු ජයසූරිය මහතා චෝදනා කර ඇත.


ඒ නිසා එම චෝදනා තමා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.