ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා මෙරටින් බිහි වූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර මහතා 2020 දී දේශපාලනයට පිවිසෙන බවට පසුගිය සමයේදී පුවත්පත්වලත්, සමාජ මාධ්‍යවල වල බොහෝ පුවත් පළ විණි.
නමුත් එම පුවත්පත් ප්‍රතික්ෂේප කළ කුමාර් සංගක්කාර මහතා පවසා සිටිනුයේ තමන් නැවත වරක් දේශපාලනයට නොපිවිසෙන බවයි.
ඒ බව සඳහන් කරමින් කුමාර් සංගක්කාර මහතා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි.
“මම දේශපාලනයට පිවිසෙන බවටත් 2020 දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන බවටත් විවිධ පුවත් හා වාර්තා පළ වී තිබෙනවා. මා ඒ සියල්ල දැඩි සැළකිල්ලකින් යුතුව කියෙව්වා.
මහජනතාව මෙන්ම මාධ්‍යය ද ඒ සම්බන්ධයෙන විවිධ අදහස් උදහස් පළ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබුණා. ඇතැම් පිරිස් මා දේශපාලනයට සුදුස්සෙකු බවත් ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම පුද්ගලයා බවත් සඳහන් කර තිබුණා. ඇතැම් පිරිස් මගේ චරිතය සහ විශ්වාසනීයත්වය ප්‍රශ්න කර තිබුණා. මා විවිධත්වයකින් යුතු ඒ සියලු අදහස් උදහස් අගය කරනවා.
එය සියලු කටකතා, වාර්තා හා පුවත්වලට තිත තැබීමට කාලය එළැඹ ඇතැයි මා සිතනවා. ඒ නිසා මා නැවතත් ස්ථීර වශයෙන් කියා සිටිනවා. දේශපාලනයට පැමිණීමට මට කිසිදු අවශ්‍යතාවක් හෝ වුවමනාවක් නැහැ. ඒ ගැන මගේ අපේක්ෂාවක් හෝ බලාපොරොත්තුවක් ද නැහැ. මා දේශපලානයට සම්බන්ධ වී නැහැ. ඉදිරියේදී සම්බන්ධ වෙන්නෙත් නැහැ. මම එය දැඩි විශ්වාසයෙන් යුතුව කියනවා. එය ස්ථීරයි.
දේශපාලනය සහ මහජන සේවය ඉතා වගකීමෙන් කර යුතු භාරදූර රාජකාරීයක්. මහජන වගකීම් හා යුතුකම්, මහජන සේවය සෑමවිටම මහජනතාවගේ විශ්වාසය මෙන්ම වගවීම සහ විශ්වාසනීයත්වය හා බැඳී තිබෙනවා. ඡන්දයකින් තේරී පත්වූ හෝ පත්කළ සියලු රාජ්‍ය සේවකයන් කෙරෙහි මා තුළ විශාල ගෞරවයක් තිබෙනවා.
ඔවුන් සියලු දෙනා යහපත් සහ ගෞරවනීය අරමුණක් ඇති ක්ෂේත්‍රයට පැමිණි අය. ඔවුන් සියලු දෙනාම රටේ යහපත උදෙසා කැප වී සිටිනවා.