’බැඳුම්කරේ හොරු අල්ලන්න හැදුවා මිස සල්ලි ගත්තේ නෑ’ - නලින්ද ජයතිස්ස



 
 
මුදිතා දයානන්ද 
       
බැඳුම්කර හොරු අල්ලන්න කටයුතු කළා මිස මා පර්පෙචුවල් සමාගමෙන් හෝ එයට සම්බන්ධ කිසිම වෙනත් ආයතනයකින් හෝ පුද්ගලයකුගෙන් හෝ කිසිම මුදලක් ලබාගෙන නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය. 


අර්ජුන් අලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමෙන් මුදල් ගත්තේ යැයි කරන ලද සාවද්‍ය ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෛත‍්‍රී ගුණරත්න මහතාට එරෙහිව රුපියල් මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසි යවා ඇතැයිද ජයතිස්ස මහතා මෙහිදි පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ජයතිස්ස මහතා මෙසේද පැවසීය.


වංචාවට එරෙහිව අරගලවලදී ජවිපෙ අපි හැමදාමත් ඉදිරියෙන්ම සිටිනවා. මෛත‍්‍රී ගුණරත්නලා කාගෙවත් කිමකට මේ කරන්න හදන්නේ වංචාවට එරෙහි අරගලයත් වංචා කරන්නයි. කෝප් කමිටුවේදී ෆුට් නෝට් කල්ලිය දැරූ උත්සාහයන් පරාජය කළා වගේම මෛත‍්‍රීලාගේ මේ උත්සාහයත් අපි පරාජය කරනවා. අසූචි වලේ බැස්ස  ඌරා ගොඩට ඇවිත් හැම ගහකම පිට උලලා ඒයායෙත් අසූචි ගානවා වගේ වැඩක් මේකත්. පදනම් විරහිත ප‍්‍රකාශ කරන්නේ නැතිව පුලූවන් නම් මා මුදල් ගත් බව ඔප්පු කරන්න.