බිඟුන් මේනක ගමගේ
බන්ධනාගාර ගතව ජම්පරය අඳින භික්ෂූන් වහන්සේලා 15 නමක් හා අන්‍යාගමික පූජකවරුන් තිදෙනෙකු සිටින්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද මේ වනවිට ජම්පරය ඇඳගෙන සිටින්නේ යැයි කී හෙතෙම නීතියට අනුව එහි කිසිදු වරදක් නැතැයි අවධාරණය කළේය.
බන්ධනාගාරතව සිටින්නෙකු අභියාචනා පෙස්සමක් ගොනු කළ විට ඊට අදාළව ඇප නියෝගයක් ලද හොත් සාමාන්‍ය ඇඳුමකින් සැරසීමට අවස්ථාව උදාවන්නේ යැයි ද සිල්වා මහතා කීවේය.
යූ.ආර් ද සිල්වා මහතා මෙම අදහස පළ කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයේදී ජම්පරය ඇඳීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් මතු කරන අදහස් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා එහිදී මෙසේ ද පැවැසීය.
අපේ නීතිය හැටියට දඬුවම් වර්ග දෙකක් ලබාදිය හැකියි. ඒ, බරපතල වැඩ ඇතිව හා බරපතල වැඩ නැතිව කියායි. මේ ආකාරයට දඬුවමක් පැන වූ විට අභියාචනා කිරීමේ අයිතිය තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයක නම් අභියාචනා පෙස්සමක් හදලා එය අභියාචනාධිකරණයට ආමන්ත්‍රණය කර මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ යුතුයි.
ඒ ගොනු කළ වහාම ඇප පනතේ ප්‍රතිපාදන පරිදි මහේස්ත්‍රාත්තුමා ඇප නියමයක් කළ යුතුයි. එහිදී ඇප නියමයේදී ඇප දීමට හෝ නොදීමට එතුමාට අභිමතානුසාරී බලයක් තිබෙනවා. වරදේ බරපතලකම හෝ වන්දිකාරක තත්ත්වය සමඟ මේ පුද්ගලයාගේ පූර්ව ක්‍රියාකලාපය බලා ඇපදීම හෝ නොදීම කළ හැකි බව ඇප පනතේ සඳහන් වෙනවා. යම් පුද්ගලයකුට දඬුවමක් නියම කළ ක්ෂණයෙන්ම ඔහු හෝ ඇය බන්ධනාගාර අධිකාරිවරයාගේ යටතට වැටෙනවා. ඒකට වෙන මොන නීතියවත් බලපාන්නේ නෑ.
සිර දඬුවමක් නියම වූ කෙනෙකුට ඒ වනතුරු අභියාචනයක් ගොනු කර නැතිනම් ඒ තැනැත්තාට ජම්පරය අන්දනවා. ඒ තැනැත්තාට එතැන් සිට සිර දඬුවම ක්‍රියාත්මක වෙනවා. අභියාචනා පෙස්සමක් ගොනු කරලා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් බන්ධනාගාරයට පැමිණෙන තුරු ඔහු ජම්පරය ඇඳිය යුතුයි. අභියාචන සිරකරුවෙකු හැටියට බන්ධනාගාරයට පැමිණි අයෙකුට සාමාන්‍ය ඇඳුම අඳින්න පුළුවන්. අභියාචන සිරකරුවකුට සාමාන්‍ය සිරකරුවෙකුට පරිදිම සතියකට වරක් අමුත්තන් මුණ ගැසිය හැකියි. එහෙත් ජම්පරය අඳින දඬුවම් විඳින අයට මාසයකට වරයි.
මේ ආකාරයට මේ වනවිට හාමුදුරුවරු 15 නමක් සිටිනවා. හින්දු, ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික පූජකවරුන් ද එක් අයෙකු බැගින් සිටිනවා. ඒ ඔක්කොම ජම්පරය ඇඳගෙන සිටිනවා.
ඊට අදාළ ඇප නියෝගය සම්බන්ධයෙන් විමසීම 22 වැනිදාට කල් තබා තිබෙනවා. එම නියෝගය ලද විට ජම්පරය ඉවත් කර සාමාන්‍ය ඇඳුමට යන්න පුළුවන්. මේක සරල දෙයක්. අපේ නීතියේ හැටියට බන්ධනාගාර ගතව දඬුවම් විඳින හිමිවරුන් ඉන්නවා. අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනයට වැරදිකරු වී බන්ධනාගාර ගත කළ තල්දූවේ සෝමාරාම හිමි ක්‍රිස්තියානි ආගමට හැරුණා.
ඒ නිසා ඔහුට මේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවේ නෑ. නමුත් බුද්ධරක්ඛිත හිමියන් ඒ ඇඳුම ඇන්ඳා. ඔහු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවේ නෑ. බන්ධනාගාරයේදී ආගමික ඇඳුම් අඳින්න බෑ. සියලුම සිරකරුවන් සැලකෙන්නේ සමානයන් හැටියටයි යනුවෙන් ද පැවැසීය.