’බඩෝවිට වසා’ අත්අඩංගුවට


(රේඛා තරංගනී ෆොන්සේකා)

පොලිසිය මගහරිමින් සිටි මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු වන 'බඩෝවිට වසා' නමැත්තා හෙරොයින්  සමඟ අත්ඉඩිය බඩෝවිට ප්‍රදේශයේදී අද(3)  අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

ඔහු සතුව තිබී ග්‍රෑම් 4ක හෙරොයින්  ප්‍රමාණයක් ද රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු හෙරොයින් කිලෝ එකහමාරක් ළඟ තබා ගැනීමේ වරදට මේවනවිට වැලිකඩ බන්ධනාගාරගතව සිටින ́නලින් නමැත්තාගේ හොඳම ගෝලයෙකු බවද ඔහුගේ අනුදැනුම මත සැකකරු මෙම ජාවාරම දිගටම කරගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.

ඒ අනුව මෙම පුද්ගලයා සෙම්බරන් කොටුව, විජය පාර වටරප්පල,දෙහිවල,ගල්කිස්ස,රත්මලාන,මොරටුව, කව්ඩාන  ආදී ප්‍රදේශයන්හී අලෙවිකරුවන් 30කට වැඩි ප්‍රමාණයකට  මත්කුඩු සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය.

සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍ර‍ශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ද පොලිසිය කියයි.


සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි