’නැව් සේවය විදේශීය සමාගම්වලට විවෘත කිරීමට ඉඩදෙන්නේ නෑ’


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

නැව් සමාගම් නියෝජිත සේවාව විදේශීය සමාගම්වලට විවෘත කිරීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය මගින් අයවැය යෝජනාවලියට ඇතුළත් කර ඇත්තේ තමා සමග සාකච්ඡා නොකර හිතුමතේටයැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවැසීය.අපි මේ වැඬේට විරුද්ධයි.

කොහොම නමුත් මේ ගැන අවසාන ගැසට් එක නිකුත් කරන්නේ මම. මම ඒකට ඉඩ දෙන්නේ නැතැයි සමරසිංහ මහතා කීය. ඇමැතිවරයා මෙසේ පැවැසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය. මහින්ද සමරසිංහ මහතා එහිදී මෙසේද කීය.

ආයෝජන සහතිකයක් නැතිව නැව් ක්ෂේත‍්‍රය විදේශීය සමාගම්වලට විවෘත කළාම දේශීය ව්‍යාපාරිකයාට වෙන්නේ මොකක්ද? අයවැය යෝජනාවලියට මේ යෝජනාව දැම්මේ එකපාරට. අපි කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. දේශීය ව්‍යාපාරිකයා විනාශ නොකිරීම අපේ ප‍්‍රතිපත්තියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි. ජනාධිපතිතුමාත් අපේ ස්ථාවරය සමග ඉන්නවා. කවුරුන් හෝ ආයෝජන ගේනවා නම් ප‍්‍රශ්නයක් නැහැ. විදේශීය සමාගම් එනවා නම් අඩු තරමින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වත් ගේන්න  ඕනෑ කියා කොන්දේසියක් දැමිය යුතුයි. අදත් මේ ගැන පත්තරවල දැන්වීම් දාලා. මේක දෙවැනි දැන්වීම. ඇයි මේවාට සල්ලි නාස්ති කරන්නේ.

රත්නපුර දිස්ත‍්‍රික් (එජාප) මන්ත‍්‍රී හේමාස් විතානගේ මහතා:- මේක මෙතැනට ගේන්න කලින් කැබිනට් එකේදී සාකච්ඡා කළා නම් තමයි හොඳ.

ඇමැති සමරසිංහ මහතා:- අපි කැබිනට් මණ්ඩලයේදීත් කතා කළා.