’නාසා’ හි සේවකයන්ට නිවසේ සිටින්නැයි දන්වන්න යයි


ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය වන නාසා ආයතනයේ කටයුතු කරන සියලු සේවකයන් සහ කොන්ත්‍රාත්කරුවන්ට සිය නිවාසවල සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතුවල නිරතවන ලෙස දැනුම් දීමට එම ආයතනයේ පරිපාලන අංශ තීරණය කර තිබේ.

නාසා ආයතනයේ සේවකයන් කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීමත් සමඟ අද රාත්‍රියේදී මෙම තීරණය දැනුම්දීමට නියමිත බව වාර්තා වේ.

රාජකාරී කටයුතු අතරතුර සේවක කණ්ඩායම් අතර වයිරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව නාසා ආයතනයේ කළමනාකරු ජිම් බ්‍රයිඩ්න්ස්ටයින් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.

ඒ අනුව, අභ්‍යවකාශ මෙහෙයුම් සම්බන්ධයෙන් ආයතනයට අත්‍යවශ්‍ය ම නිලධාරීන්ට පමණක් එහි ඇතුළු වීමට අවසර දෙනු ඇත.