(ඩයනා උදයංගනී)
නව කැබිනට් මණ්ඩලය ඉදිරි දින දෙක තුළදී එනම් 14 වැනි දා ට පෙර දිවුරුම් දෙන බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙහිදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් නොව නව කැබිනට් මණ්ඩලයක් ලෙස සියලූ දෙනා දිවුරුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලූ ඇමැතිවරුන්ගේ තනතුරු මෙහිදී වෙනස් නොවුණත් පැවරී ඇති විෂයන් ගැළපෙන ආකාරයෙන් විද්‍යාත්මක බෙදීමක් සිදුවනු ඇතැයි කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත්, එම පක්‍ෂය ගන්නා තීන්දුව අනුව ඇමැති ධූර ලබාදෙන බවත් කියා සිටියේය.
විශ්වාසභංගයේ දී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කළ අය ආණ්ඩුවේ නොසිටිය යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ අදහස වී ඇතැයි කී රාජිත සේනාරත්න මහතා එම 16 දෙනා අතර සිටින කැබිනට් ඇමැතිවරුන් 6 දෙනා ඉවත් වුවහොත් ඔවුන්ගේ විෂයන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප නියෝජිතයන්ට ලබාදීමට සිදුවනු ඇතැයි ද කීවේය.
කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන බැවින් ඇමැතිවරුන් සංඛ්‍යාවේ වෙනසක් සිදුනොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.