’දේශපාලනඥයින් වයිරසයේ දරුණුබව අවතක්සේරු කළා’


මාර්තු 18 - ඒ.එෆ්.පී. (බර්ලින්) 

විවිධ රටවල දේශපාලන නායකයන් කොරෝනා වයිරසයේ දරුණු බව කිසිදු සැලකිල්ලකට නොගෙන අවතක්සේරු කළ බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන්ඩ ලියන් මහත්මිය පැවසුවාය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සිය දේශ සීමා වසාදැමීමට යුරෝපා සංගමය පියවර ගැනීමත් සමඟ ඇය මේ බව සඳහන් කළාය.

''අපි කවුරුවත් විශේෂඥවරු නෙමෙයි. ඒත් මූලික අවස්ථාවේදී අපි කොරෝනා වයිරසය අවතක්සේරු කළා“ යයි උර්සුලා වොන්ඩ ලියන් ජර්මනියේ ‘බිල්ඩ්‘ පුවත් පතට පවසා තිබිණ. ඇය සමග කළ සාකච්ඡාව ‘බිල්ඩ්‘ පුවත් පතේ බදාදා දින පළකර තිබිණ.

“මේ යන විදියට,  තව සෑහෙන කාලයක් අපිට මේ වයිරසයත් එක්ක ඔට්ටු අල්ලන්න සිද්ධවෙන බව නම් පැහැදිලියි. වයිරසය පාලනය  කරන්න ගන්න තරම් දැඩි වැඩියි කියලා  සති දෙකකට හෝ තුනකට පෙර හිතපු ක්‍රියා මාර්ග මේ මොහොතේදීම ක්‍රියාත්මක කළ යුතුයි'' යයිද ඇය පැවසුවාය.

පසුගිය අවුරුද්දේ දී චීනයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්තව ගොසිනි. අද (18 වැනිදා) ග්‍රිනිජ්  වේලාවෙන් උදෑසන 7.00 වන (ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.30 වන විට) වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ අතර 7,991 දෙනෙකු මිය ගොසිනි.

මෙම වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය යුද්ධයක් ලෙස අර්ථ ගැන්වූ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මහතාගේ භාෂා භාවිතයට ද මෙහිදී උර්සුලා මහත්මිය ප්‍රතික්ෂේප කළාය. ප්‍රංශ ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ සියලුම ප්‍රංශ ජාතිකයන්ට සති දෙකක් පුරා නිවෙස් තුළට වී සිටින ලෙස උපදෙස් දෙමිනි.

'මම පෞද්ගලිකව ඒ වචනය පාවිච්චි කරන්නේ නැහැ. ඒත් මට පැහැදිලියි ප්‍රංශ ජනපතිවරයා එයින්  අදහස් කළේ, වයිරසය කරදරකාර සතුරෙකු බව හඳුන්වා දීමටයි' “ යයිද උර්සුලා වොන්ඩ ලියන්  මහත්මිය පැවසුවාය.