’දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා’


කොරෝනා වසංගතය ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් එරට චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය ප්‍රකාශ කළාය.
 
ජර්මානු චාන්සලර්වරියගේ ජාතිය ඇමතීමේ කතාව රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ද ඇය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
 
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ සටනේදී සෑම පුරවැසියකුටම වගකීමක් හා කාර්යභාරයක් පැවැරී ඇතැයි සඳහන් කළ ජර්මානු නායිකාව සෑම පුරවැසියකුගෙන්ම තමන්ට හිමි කොටස ඉටු කරන්නැයි ද ඉල්ලා සිටියාය.
 

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසය මේ වනවිට යුරෝපය පුරා මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර වයිරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ද යුරෝපයයි.

 
‘‘තත්ත්වය ඉතාම දරුණුයි. අපි මෙය බරපතළ ලෙස ගත යුතුයි. ජර්මනිය එක්සත් විය යුතුයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අපි කවදාවත් මේ වගේ අභියෝගයකට මුහුණ දීලා නැහැ. අපි සාමූහිකව වැඩ කරන්න ඕනෑ. අපේ සටනේ ජයග්‍රහණය තීරණය වෙන්නේ අපි කොච්චර එකමුතු ද කියන කරුණ මත’’ යැයි ඇය සඳහන් කළාය.
 
වසර 15ක් මුළුල්ලේ ජර්මනිය පාලනය කරන ජර්මානු නායිකව මීට දශකයට මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී හෝ 2015 සරණාගත අර්බුදය හෝ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ අවස්ථාවේදී හෝ මෙලෙස රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතුවේ නැති අතර ඇය සාම්ප්‍රදායික අලුත් අවුරුදු සුබපැතුම් ලබාදීමට පමණක් ජාතිය ඇමතීම සිදුකළාය. ඒ හැර වෙනත් කිසිදු අවස්ථාවකදී එලෙස ජාතිය ඇමතීමකට ඇය සම්බන්ධ නොවූවාය.
 
‘‘මෙයින් සාර්ථකත්වය ලබන්න පුළුවන් යැයි මා දැඩි සේ විශ්වාස කරනවා. සෑම පුරවැසියකුම තමන්ට පැවැරී තිබෙන වගකීම ඉටු කරනවා නම් එය අපට කරන්න පුළුවන්’’ යැයි ජර්මානු නායිකාව කීවාය. 
 
(ඒ.එෆ්.පී.)
 
055