’දුගියා මෙන්ම ධනවතා ද කොරෝනාවෙන් පීඩාවට පත් වෙලා’


ලොවපුරා පැතිර ගොස් තිබෙන කොවිඩ්-19’ වසංගතයෙන් ලොව දිළිඳුම පුද්ගලයා මෙන්ම ඉතාම සුඛෝපභෝගී රටවල ජීවත්වන ධනවත්ම පුද්ගලයන් පවා පීඩාවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (6) ප්‍රකාශ කළේය.

ජාති ආගම් වශයෙන් වෙන්ව කටයුතු කළත් කවුරුත් පොදු ඉරණමක් සහිත මනුෂ්‍යයන් බව වැටහී ඇති මේ මොහොතේ බුදු දහමේ උත්තරීතර ප්‍රාර්ථනාව වන සියලු‍ සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! යි ලෝකය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අරලිය ගහ මන්දිරයේ අද (6) පැවැති රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

ලොව බලවත්ම රටවල රාජ්‍ය නායකයන්ට පවා වසංගතයෙන් ගැලවීමට නොහැකි වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන් පෑම සිහිපත් කරන වෙසක් පොහොය ලෝකයේ තිබෙන උතුම්ම දිනය හැටියටයි බෞද්ධ අප සළකන්නේ. ඒ නිසාම අපේ චිරාගත බෞද්ධ සිරිතක් තිබුණා, කෙනෙකුගේ වයස ගැන කියන්නේ වෙසක් පොහොය ගණනින්. අනාගතය ගැන කියන්නේ වෙසක් පොහොය ගණනින්. බුද්ධාගම ආරක්ෂා කරන ආණ්ඩුවක් එන්නේ කවදා ද කියලා මගෙන් ඇහුවම මම එදා උත්තර දුන්නෙත් වෙසක් පෝය ගණනින්. දැන් ඒ වෙසක් පෝය උදාවෙලා.
වෙසක් පෝය බෞද්ධ ජනතාවගේ විතරක් නෙවෙයි ලෝකයේ නොයෙක් ආගම්වල, ජාතීන්වල අයගේ ගෞරවයට ලක්වුණ දවසක්. කොයි ජාතීන්ගේත් පිළිගැනීමට ලක්වුණ දවසක්. ඒ නිසා අද වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් හැටියට සළකනවා. වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කරන්න වෙහෙස මහන්සිවෙලා කටයුතු කළේ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා. ඒ වගේම ලංකාව යටත් විජිතයක් හැටියට පැවතුන කාලේ වෙසක් දවස රජයේ නිවාඩු දවසක් හැටියට පත්කරන්න යෝජනා කළේ පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා.

බෞද්ධ අපේ උතුම්ම ගුණයක් තමයි කෙළෙහි ගුණ සැළකීමේ ගුණය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණ ගමන් කළේ තමන් පිටදුන් බෝධියට පවා කෙළෙහි ගුණ සැළකීම. ඒ උතුම් ගුණාංගය ආදර්ශයට අරගෙන අපි මේ වෙසක් පෝය දවස ජාතික හා ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කරපු වීරයින්ට කෘතිවේදීත්වය පළකරන්න ඕනේ.

වෙසක් පෝය කියන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ප්‍රතිපත්ති පූජාවට යොමුවන දවසක්. ඒ නිසා වෙනත් වෙසක් පෝයවලට වෙහෙර විහාර සුදුවතින් බැබළෙනවා. දහස් ගණන් වෙසක් පහණ්, තොරන්වලින් මේ රට ආලෝකමත්වෙනවා. හැම හන්දියක් ගානෙම මහා දන්සැල් පැවැත්වෙනවා. අපි දන්නවා වෙසක් උත්සවයට අපේ ජනතාව අරමුදල් එකතු කරගෙන සූදානම් වෙන්නේ බොහොම කාලෙක ඉඳලා. ගිය අවුරුද්දෙත් අපිට වෙසක් පොහොය සමරන්න බැරිවුණ නිසා මේ අවුරුද්දේ ඒ සඳහා සූදානම් වුණ ගිහි පින්වතුන්, සංගම්, සංවිධාන අප්‍රමාණ බව මම දන්නවා. නමුත් අද අපේ බෞද්ධයින්ගේ ඒ පුණ්‍යවන්ත බලාපොරොත්තුව ඉටුකර ගන්න බැරිවෙලා තියෙනවා. අපි ඒ බව උපේක්ෂා සහගතව තේරුම්ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගත්ත අය, ඒ ධර්ම මාර්ගය පිළිගත්ත අය මේ විපත්වලින් කම්පාවෙන්නේ නැති බව මම දන්නවා. බෞද්ධ ජනතාව අෂ්ඨලෝක ධර්මය හමුවේ කම්පාවට පත්වන්නේ නෑ. ඒ නිසා අපි කොවිඩ් -19වසංගතය ධර්මය තේරුම්ගන්න, ලෝක ස්වභාවය තේරුම්ගන්න පිටුවහලක් කරගන්න ඕනේ.
සමහරු හිතනවා මේ වසංගතය, ස්වභාව ධර්මය විසින් ලෝක සත්වයාට දුන්නද දඬුවමක් කියලා. ඒ නිසා සමහර අය සතහට සෙත සළසනවාට වඩා කොවිඩ් වසංගතය දුරුකරන්න සම්බන්ධවෙලා වැඩකරන අයටත් දඩුවම් දෙන්න යෝජනා කරන බව අපිට ඇහිලා තියෙනවා.

බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙන්නේ දඬුවමින් සියල්ලෝ තැති ගනිති, දඬුවමට සියල්ලෝ බියවෙති කියලයි. ඒ නිසා අපි දඬුවම් දෙන්න යන්නෙත් නෑ. දඬුවම් දෙන පවුකාර සිතිවිලි වලින් අපි බැහැර වෙනවා විතරක් නෙමෙයි මේක ස්වභාව ධර්මය දීපු දඬුවමක් හැටියට භාරගන්නෙත් නැති බව කියන්න ඕනේ.

මේක තමයි ලෝක ස්වභාවය. ලෝක ස්වභාවයට ලෝක බලවතුන් කියලා, දුබලයින් කියලා වෙනසක් නෑ. ලෝකයේ මොනතරම් බලවතුන් වුණත් ලෝක ස්වභාවය වෙනස් කරන්න බෑ. ජාති, ජරා, ව්‍යාධි, මරණ මේවා කාටත් පොදුයි. කොතනටත් පොදුයි. අද මේ වසංගතයෙන් ලෝකයේ දිළිඳුම පුද්ගලයා වගේම ඉතාම සුඛෝපභෝගී රටවල ජීවත්වන ධනවත්ම පුද්ගලයොත් පීඩාවට පත්වනවා. ලෝකයේ බලවත්ම රටවල රාජ්‍ය නායකයින්ටත් වසංගතයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා. සොබාදහම වෙනස් කරනවා කියලා කියපු අයට අද ලෝක ස්වභාවය ඉස්සරහා අසරණ වෙන්න වෙලා තියෙනවා. 

055

(ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය)