හර්ෂණ තුෂාර සිල්වා
අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාව තුන්වැනි ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලළේදී 2017 වසරේ හොඳම සිංහල නවකතාවට හිමි සම්මානය හිමි කරගැනීමට අද (26) සමත් විය.
ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව ‘ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ 2017’ ගාලු කොටුවේදී අද පැවැත්විණි.
ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ භාෂා ත්‍රිත්වයෙන්ම පැවති අතර සිංහල භාෂා අංශයෙන් නවකතා 87ක් ඉදිරිපත් වී තිබිණි. ඉන් නිශ්ශංක විජේමාන්න රචිත හඳ පළුව තනි තරුව, විමල් උදය හපුගොඩආරච්චි රචිත යකඩ සිල්පර, කීර්ති වැලිසරගේ රචිත ගරුඬ මුහුර්තය, අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව සහ දීප්ති මංගලා රාජපක්ෂ රචිත නිකිණි කළුවර අවසන් වටයට තේරී පත්ව තිබිණි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ගාලු කොටුවේ පැවති ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ 2017 සම්මාන උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ආන්තික සමාජ කණ්ඩායම්වල නිහඬ කරනු ලැබූ ජනයාගේ විවිධ වූත් වර්ණවූත් සමාජ අත්දැකීම් ලාංකික නිර්මාණ සාහිත්‍ය තුළ වෙනස් සලකුණක් තැබීම, සංස්කෘති සම්ප්‍රදායවාදයත් අනන්‍යතාව අහිමි වූ තරුණ ජීවිතයක අරුත ගවේෂණය කිරීම යනාදී කරුණු අනුරසිරි හෙට්ටිගේ පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාව මෙලෙස සම්මානයට පාත්‍රවීමට හේතු වූ බව, එම කෘතියට සම්මානය හිමි වීමේ හේතුපාඨය කියවමින් සිංහල භාෂා අංශයේ විනිසුරු මඬුල්ලේ මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ගාමිණි වියන්ගොඩ සහ බුද්ධදාස ගලප්පති යන මහත්වරු ද සිංහල භාෂා අංශයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළහ. ඓතිහාසික නවකතා කෙරෙහි දක්වන නැඹුරුව, ආර්ථික හා කුල පීඩනය, ප්‍රාදේශීය සහ ඓතිහාසික භාෂා නවකතා සඳහා යොදා ගැනීම, යටත් විජිතකරණය සහ එහි සමාජ ආර්ථික බලපෑම, සමාජ ආර්ථික ගැටලු යනාදී කරුණු මෙවර සිංහල භාෂා අංශයට ඉදිරිපත් වූ නවකතාවල පොදු ගුණාංග ලෙස හඳුනාගත හැකි වූ බව ද මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය පැවසුවාය.
2016 වසරේ ජූනි මාසයේ සිට 2017 වසරේ මැයි මාසය දක්වා ප්‍රකාශිත ග්‍රන්ථ ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ 2017 සඳහා සලකා බලන ලදි.
දෙමළ අංශයේ හොඳම නවකතාවට හිමි සම්මානය තේනියම් රචිත ‘ඊතනම්’ කෘතියට හිමි වූ අතර ඉංග්‍රීසි භාෂා අංශයේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගැනීමට ‘ද අදර් වන්’ නවකතාව ලියූ අමන්දා ජේ සමත්වූවාය.
සම්මාන උලළේදී පළමු වරට සාර්ක් සාහිත්‍ය සම්මානය හඳුන්වා දෙන ලදි. ඒ අනුව පළමු සාර්ක් සාහිත්‍ය සම්මානය, ඇෆ්ගනිස්තානයේ සාහිත්‍ය සහ සංස්කෘතික සංවර්ධනය වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් නජිබුල්ලා මලලායීට හිමිවිය.
ගාලු සාහිත්‍ය උලළේ නිර්මාතෘ ජෙෆ්රි ඩෝබ්ස් සම්මාන උලළේදී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.

