‘‘හිතුමතේ ආර්ථිකය හැසිරවීම ජනතාවට පෝලිම් වල ලඟින්න වුණා‘‘


(අංජුල මහික වීරරත්න)

මාස තුනක කාලයක් ගතවී ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසදුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක්ද ජනතාවගේ හිස මතට පතිත කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ගෑස් හා කිරිපිටි පෝලිම්වල සිටි ජනතාව දැන් සිමෙන්ති පෝලිමකට තල්ලුකර ආණ්ඩුව අත පිසදාගෙන සිටින්නේයැයි ද විජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

ගෑස්, කිරිපිටි, සිමෙන්ති, පොහොර හිඟයන්ට විසදුම් නොදීම නිසා ජනතාව මේ වන විට මහත් පීඩාවකට පත්ව ඇතැයි කී විජයවර්ධන මහතා මෙය තමන්ට හිතුන විදියට ආර්ථිකය හසුරුවන්න ගිහින් ජනතාව පෝලිම්වලට ගාල්කළ ආණ්ඩුවක් බව ද කීය.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධනය පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සදහන් කළේය.