(හර්ෂණ තුෂාර සිල්වා)
කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ‘‘සූදානම් වෙන්න, බිය නොවන්න’’ යන්න අපගේ මාර්ගෝපදේශ මන්ත්‍රය වූයේ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) ප්‍රකාශ කළේය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනට ශක්තිමත් උපායමාර්ගයක් සැකසීම සඳහා ‘කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානයේ (සාර්ක්)’ රටවල නායකයන්ගේ සාකච්ඡාවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වමු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත් දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව අද පස්වරු 5.00 සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම සාකච්ඡා පැවැත්විණි.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි, භූතාන අග්‍රාමාත්‍ය ලෝටේ ෂෙරීන්, මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමද් සෝලි යන මහත්වරු සහ බංග්ලාදේශයේ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවට එක්වූහ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහායක වෛද්‍ය සෆාර් මිර්සා ද මෙයට එක්විය.
වයිරසය නිසා ඇති වී තිබෙන තත්ත්වය අවතක්සේරු නොකරන බවත් එහෙත් හදිසි වී ප්‍රතිචාර දැක්වීමෙන් වැළැකී සිටිය යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාව ආරම්භ කරමින් පැවැසීය.
‘‘දැනට සාර්ක් කලාපයෙන් වාර්තා වී ඇත්තේ සිදුවීම් 150ක් පමණ පොඩි ගණනක්. එහෙත් අපි විමසිල්ලෙන් ඉන්න ඕනෑ’’ යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
සෞඛය සේවා සැපයීම කලාපය හමුවේ තිබෙන සැලකිය යුතු අභියෝගයක් යැයි ද සියලු දෙනාම එක්ව සූදානම් විය යුතු යැයි ද එක්ව මුහුණ දී එක්ව සාර්ථක වෙමු යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

