
සාමකාමී ලෙස විරෝධතාවල නිරත වීමට ලෙබනන ජනතාවට ඇති අයිතියට සහයෝගය දෙන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැළැකී සිටින්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවත් බේරූට් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.
ලෙබනනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සෙනසුරාදා (8) ඒ බව සඳහන් කළේය.
‘‘ලෙබනන ජනතාවට, ඔවුන්ට කන් දෙන නායකයන් ලැබීමේ අයිතියක් හිමිකමක් තියෙනවා. ලෙබනන ජනතාවට ඊට සෑම සුදුසුකමක්ම තිබෙනවා. ඒ වගේම විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටීමට ද ඔවුන්ට අයිතියක් තිබෙනවා’’ යැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුයේ දැක්විණි.
පසුගිය සතියේදී ලෙබනනයේ බේරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීමෙන් පසු එරට ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වෙති. මෙම පිපිරීම වළක්වා ගැනීමට හැකිව තිබූ එකක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
දේශපාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් සහ පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස්වලට සාධාරණය ඉල්ලමින් ලෙබනන වැසියෝ දස දහස් ගණනක් බේරූට් අගනුවරට රැස් වී විරෝධතාවල නිරත වෙති.
විරෝධතාකරුවන් අගනුවර පිහිටි අමාත්‍යාංශය ඇතුළු රජයේ කාර්යාලවලට කඩා වැදී ඇතැයි ද වාර්තා වේ.
රොයිටර්
055

