‘‘සංචරණ සීමා ඉවත් කරන්න දැඩි කොන්දෙසි‘‘


(සුජිත් හේවාජුලිගේ)

රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය සමාලෝචනය කිරීම සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිත අතර එහිදී එම කොන්දේසි සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කරයි.

දිවයින පුරා සංචරණ සීමා ඉවත් කෙරුණද කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පළාත් අතර ගමනාගමනය තවදුරටත් සීමා කරන බවත් කාර්යාලවලට සේවක සේවිකාවන් සීමාකාරීව කැඳවීමේ තීරණයද එලෙසම පවතින බවත් ඔහු කියයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවස්ථාව සලසා දෙන බවද ගුණවර්ධන මහතා අනාවරණය කළේය.

මේ අතර රටපුරා සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පළවී ඇති ප්‍රවෘත්තිය අසත්‍ය බවත් එවැනි තීරණයක් ගෙන නැති බවත් කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා පැවසීය.