‘‘ලෝක වෙළඳපලේ මිල පාලනය කරන්න බෑ‘‘


(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් නැතැයි බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා පැවසීය.

ලෝක වෙළඳපල තුල භාණ්ඩ මිල තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ බලය අනුව නොවන බව කී අමාත්‍යවරයා ලෝක වෙළඳපලේ මිල ඉහළයාමෙන් සිදුවන පාඩු දිගින් දිගටම දරාගැනීමේ හැකියාවක් රජයට නැතැයි ද සඳහන් කළේය.

ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබානොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බව කී ඇමතිවරයා එවැනි තත්වයක් හමුවේ මිල ඉහළදැමීමකින් තොරව පවත්වාගෙන යා නොහැකි බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.