(අප්සරා යෝසිත් විජේසූරිය)
රටේ සියලුම නීති විරෝධී අපරාධ පිටුපස සිටින්නේ දේශපාලකයෝ.ඒ නිසා එවැනි කිසිඳු දෙයකට සම්බන්ධ වී තිබෙන කිසිඳු අයෙකුට යළි මන්ත්‍රීධූරයකට පැමිණීමේ අවස්ථාව අහෝසි කරනවා. ඒ වෙනුවෙන් නීති සම්පාදනයට පවා අපි සූදානම් යැයි ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා රත්නපුරදී පැවසීය.
ඔහු මේ බව පැවසුවේ රත්නපුර නගර ශාලාවේදී අද (19) පැවති ජාතික ජනබලවේගය ජනතා සභාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.
‘‘අද අපේ රටේ විශාල මුදලක් ඇදිලා යන්නේ මේ වාහනවලට. මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ වාහන විකුණන්න නොවේ. දැන් මම දැක්කා රනිල් වික‍්‍රමසිංහලා හිටපු අයටත් පර්මිට් දෙනවා.
මේ හිටපු අයට පර්මිට් දෙන්නේ මොකටද. සාමාන්‍යයෙන් මන්ත‍්‍රීවරයෙකුගේ පර්මිට් එකක් විකුණන්න පුළුවන් මිලියන 18 කට ලක්‍ෂ 150 ත් ලක්‍ෂ 180 ත් අතර මුදලකට. මේ බර ජනතාවට දරන්න සිදුවන්නේ. අපි සහතතික වෙනවා. මේවා සියල්ල අහෝසි කරන බවට. දේශපාලනය ලාභ ලබන ව්‍යාපාරයක් නොවේ, බිස්නස් එකක් නොවේ දේශපාලනය මහජන සේවයක් බවට පත්වන යුගයක් අපි ආරම්භ කරනවා.
මොනතරම් කණ්ඩායම් හිටියත් මොනතරම් සැලසුම් තිබුණත් අපිට වුවමනා රටක් හදන සැලැස්ම සහිත මිනිසුන්. පතලක් කපන්න, ගල් කොරියක් කරන්න, අරක්කු විකුණන්න වැලිගොඩදාන්න ලයිසන් එකක් දෙනවා මේ බිස්නස් කරන්න ආණ්ඩුවෙන්.
දැන් ආණ්ඩුව කවුද මන්ත්‍රී සහ ඇමති. දැන් ඒ අයටම බලපත්‍ර දෙන්නේ. අපි සැලසුම් කරනවා ආණ්ඩුවේ බලපත්‍ර සහිත බිස්නස් කරන අයට මැති ඇමතිකම් දෙන්නේ නැති ක‍්‍රමවේයක් හදන්න.
අද අපි දකින සියළූ අපරාධයන් පසුපස සිටින්නේ දේශපාලනඥයන්. දැන් මේ ප‍්‍රදේශයේ හොරෙන් පතලක් කපනවානම්, එහි මූලිකව පිටුපස සිටින්නේ දේශපාලකයෙක්. ගමේ පරිසරයට හානිකර විදියට කුඹුරක් ගොඩදානවානම් වැලිගොඩදානවා නම්, කොහේ හිර තැනක පස් කපනවානම්,එහි පිටුපස සිටින්නේ දේශපාලකයෙක්.
නීතිවිරෝධී ගල්කොරියක් කරනවානම්, එතන පිටුපස සිට එය කරන්නේ දේශපාලකයෙක්, නීතිවිරෝධී එතනෝල් බිස්නස් කරනවානම් එහි පිටුපස සිටින්නේ දේශපාලකයෙක්.
ඒ නිසා පහුගිය මෑත දවසක අපේ ස්වාමීන් වහන්සේලා එළිදැක්වූවා අපේක්‍ෂයකු කවරආකාර විය යුතුද යන කාරණාව පිළිබඳව බණ්ඩාරනායක අනුස්මරණ ශාලවේදි.
එහිදී කියවෙන්නේ දේශපාලකයන්ට නඩු තියෙන්න බෑ අපරාධවලට හවුල්වන්න සම්බන්ධවෙන්න බෑ. ඒ කරුණු සියල්ල සපිරි අනුගමනය කරන දේශපාලකයන් වූ අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ හැකිවන්නේ ජාතික ජනබලවේගයට පමණයි.
ඒ නිසා මෙරට ගොඩනැගීමේ ප‍්‍රධානතම අරමුණ තමයි මේ දේශපාලන පොරපිටියෙන් මිදීම. ඊළඟට ආර්ථිකය ගොඩනැගීම‘‘. යැයි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

