‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘


අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිලාද කියන පාඩම් ගණනාවක් උගන්වා තිබෙනවා. මේ සමාජය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනා එකඟ වෙලා තිබෙනවා. ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කෑගල්ලේ දි දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් පැවසුවාය.

ඔබ ඇතුළු අපි කවුරුවත් දේශපාලනය කරන්න හිතපු අය නොවෙයි. අපි මුහුණ දෙන අභියෝග, ගැටලු තනි තනිවම විසඳන්න බැහැ, අපි එකතු වෙලා උත්තර සෙවිය යුතුයි කියන තීරණයෙන් හා අධිෂ්ඨානයෙන් අපි එකතු වී සිටිනවා.

අපේ ශක්තිය පිළිබඳව අපි මෙතරම් කාලයක් හිතුවේ නැහැ. අපි ඒක පළමුවැනි වතාවට මාතරින් තේරුම් ගත්තා.

අපි එය මුළු ලෝකයටම පෙන්නුවා.මේදේශපාලන වේදිකාව මත කලාව සාහිත්‍යය, ගීත, නැටුම්, ගැයුම් ඉදිරිපත සිංදු ලියවෙලා තිබෙනවා. වරක් පත්තිනි දේවිය හැටියටත් වරෙක කාලි දේවිය ලෙසත් ආමන්ත්‍රණය කර තිබෙනවා. කුණ්ඩලකේසි මතක් වෙලා තිබෙනවා. මේ සියල්ලම අපි ගැන කියැවුණු කතා. අපේ ශක්තියත්, ධෛර්යයත් දැනිලා වේදිකාව තුළ අදහස් ප්‍රකාශ වුණා.

අපිව සාගරයක් හැටියටත් විස්තර කළා. කුණාටුවක් හැටියටත් හඳුන්වා දුන්නා. ඒක ඇත්ත. සාගරයක් තරම් ගැඹුරුයි. අපි සියලු දෙනා තුළම ඒක තිබෙනවා. ගැහැනු අප විසින් හැදුණු කුනාටුව නතර වෙන්නේ මේ රට සුද්ධ කරලා. අපි නිවාඩුවක් ගන්නේ මේ රට පරිවර්තනය කරලා. නවත්වන්නත් බැහැ. නවත්වන්නෙත් නැහැ. ඒ ශක්තිය තමයි අද මේ සමාජයට දැනෙන්නේ. අද බලයේ ඉන්න අයටත්, බලයට එන්න හදන අයටත් දැනිලා තිබෙන්නේ. සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය, අභිමානය තිබෙන කාන්තා බලය තමයි අද මේ රට හොල්ලලා තිබෙන්නේ. ගැහැනු අපි ශක්තිය එකතු කරමින් මේ රට තීරණාත්මක ලෙස වෙනස් කර ඉවරයි. ඒක අපට දේශපාලන තලයේ දැනෙනවා. අද සමාජයේ විවිධ කණ්ඩායම්, මේ සමාජ පරිවර්තනය වළක්වන්න හදන අය කලබල වෙලා තිබෙනවා. මේ නිසා අපට විවිධ ප්‍රශ්න, විවිධ කතා, විවිධ අභියෝග එල්ල කරනවා. දේශපාලන රූපවාහිනී සංවාදයකට ගියත්, වේදිකාවේත් මාතෘකාව එකයි. ඒ තමයි ජාතික ජන බලවේගය පුරවැසියන් සමග ඇති වෙමින් යන සමාජ සම්මුතිය, ගොඩනැඟෙමින් යන විශ්වාසය බිඳින්නේ කොහොමද කියන එක තමයි දේශපාලන ප්‍රතිවාදියාගේ ලොකුම අරමුණ.