‘‘මේ සම්මානය ලැබුණේ මට නෙවෙයි රටට’’


 

 

සම්මානයක් ලැබීම ජීවිතයටම ආඩම්බරයකි. යමෙකු සම්මානනීය වන්නේ ඔහු හෝ ඇය රටට ජාතියට සහ ලෝකයට අනභිභවනීය සේවයක් සැලසීම හේතුවෙනි. සංගීත ක්‍ෂේත‍්‍රයට අමරණීය මෙහෙවරක් කළ ආචාර්ය වික්ටර් රත්නායකයනට ඉකුත්දා බංග්ලාදේශයෙන් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් ලැබුණේ ඔහු සිංහල සංගීතයට කළ අනගි මෙහෙවර හේතුවෙනි.

ජීවිත කාලයටම එක්වරක් පමණක් පිදෙන මේ සම්මානය අපේ ගාන්ධර්වයානන්ට පුදන ලද්දේ රජයට අනුබද්ධිත රූපවාහිනි නාලිකාවක්වන සිටිසෙල් චැනල් 9 මගිනි. මේ සම්මානය සුළුකොට තැකිය යුත්තක් නොවන බැවින් ඒ ගැන කතා කරන්නට අපි වික්ටර් රත්නායකයන් සොයා ඔහුගේ සංගීත අසපුව සොයා ගියෙමු.

අතුරුගිරියේ කඩුවෙල පාර දිගේ ඔරුවලත් පසුකරගෙන ගිය විට නිස් කලංක බිම් කඩක පිහිටි ඔහුගේ සුන්දර නිවෙස හමුවිය. තුරු ලතා මඩුල්ලක පිහිටි ඒ සංගීත අසපුවේ බිත්ති පුරා තිබුණේ අප ගාන්ධර්වයා වයන ගයන ඡායාරූප පෙළකි. තැනෙක ‘ස’ ප‍්‍රසංගයේ විශාල කරන ලද ඡායාරූපයක්ද විය. බිත්ති කබඞ් ගණනාවකම වූයේ ඔහුට යම් යම් අවස්ථාවල ලැබුණු විවිධ සම්මානය. ඒ අතර බංග්ලාදේශයෙන් ලැබුණු සම්මානයද විය.

‘‘මේ සම්මානෙ දුන්නෙ පසුගිය පෙබරවාරි මාසෙදී. මේ සම්මානය දෙන්න මට බංග්ලාදේශයට යන්න ආරාධනයකුත් ලැබුණා. ඒත් එතකොට මම මගේ දරු මුනුබුරන් එක්ක ඉර හඳ තරු ප‍්‍රසංගයට සූදානම් වෙමින් සිටියේ. ඒ නිසා මට බංග්ලාදේශයට යන්න බැරි වුණා. මං වෙනුවෙන් මගේ සම්මානය ලබාගත්තේ ඒ රටේ ශ්‍රී ලංකා තානාපති. ඔහුයි ලංකාවට ආ විටෙක එම සම්මානය අපේ සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක මහතාට භාර දීලා තියෙන්නෙ. ඉතිං ඇමතිතුමා මට පහුගිය දවසක මේ සම්මානය ලබා දුන්නා’’

වික්ටර් රත්නායකයන් එසේ කියා ඒ සම්මානය අපට පෙන්නුවේය.

‘‘බංග්ලාදේශය ආසියානු  කලාපයේ තිබෙන අනෙක් රටවලටත් මෙහෙම සම්මාන පුද කිරීම ගැන මම සතුටු වෙනවා. නමුත් මේ සම්මානය පුද්ගලිකව මට ලැබුණු එකක් විදිහට මං සලකන්නේ නැහැ. මේක ලංකාවෙ හැම කලාකරුවෙකුටම ලැබුණු සම්මානයක් විදිහටයි මට දැනෙන්නෙ.’’

ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයක් වූ මෙම සම්මානයට පෙර, ජීවිතයටම එක් වරක් පමණක් ලැබෙන තවත් සම්මාන කිහිපයක්ම වික්ටර්ට හමුවී තිබේ. සුමති ටෙලි සම්මාන උළෙලේදී සර්වෝදය සම්මාන උළෙලකදීත් කතෝලික සිනමා පර්ෂදයේ සම්මාන උළෙලකදීත් වශයෙනි.

‘‘මේ වගෙ සම්මානයක් ලැබෙන්නේ ඩබ්ලිව්.පී.ජී.පී ලට තමා’’ වික්ටර් රත්නායකයන් එසේ කියා සිනාසුනේය දන්නව නේද අද කාලෙ කොල්ලො ඩබ්ලිව්.පී.ජී.පී කියන්නෙ වළපයයි ගොඩපයයි තියෙන එකටනෙ’’

ඔහු හඬ නගා සිනාසුනේය. ඒ අපේ පිළිසඳරේ විඩාව නිවාලන්නට ඔහු කළ විහිළුවක් පමණි. එසේ නැතුව ලද සම්මානයට අවමානයක් කිරීමක් නම් නොවේ. ඒ කෙසේ වෙතත් වික්ටර් රත්නායකයන් ලද සියළු සම්මාන අතරේ වඩාත්ම වටිනාකමක් ඇත්තේ රසික සම්මානවල යැයි මම සිතමි.

එදා මෙදා තුර තවමත් වික්ටර් රත්නායකයනගේ ගීතයකට ලැබෙන ප‍්‍රතිචාරය අති විශිෂ්ඨය. ඊට හොඳම නිදසුන ඔහුගේ ‘ස’ ප‍්‍රසංගයයි. 1973 ජුලි 20 වැනිදා ඇරඹුණු ‘ස’ ඒක පුද්ගල ගී ප‍්‍රසංගයට එක් රොක් වූ රසික පිරිස පාලනය කරගත නොහැකිව ගියේය.
 

‘‘එදා ජනෙල් දොරවල් පවා කඩාගෙන රසිකයො ශාලාව ඇතුළට ආවා. පස්සේ ඊට පහුවෙනිදත් තව ප‍්‍රසංගයක් පවත්වනවා කියලා පොරොන්දුවක් දීලයි ඒ රසිකයෝ ටික මං ආපහු යැව්වේ’’

මමත් එදා හොරෙන් ඒ හෝල් එකට රිංග ගත්තු කෙනෙක් තමා.

 අපේ ඇබා ඒ මොහොතේ කතාවට එකතු වූයේ සිනාසෙමිනි.

මේ ‘ස’ ප‍්‍රසංගය ලංකාවේ කොතැනක කවදා තිබ්බත් ඒ හැමදාමත් හවුස් ෆුල් වූයේ වික්ටර් රත්නායකයනට රසිකයන් හිඟ නැති බව පෙන්වාදෙමිනි.
ඇත්තටම මෙය මහා හපන්කමකි. ඒ හපන්කම ඔහු කරන්නේ කෙසේදැයි යන්න මට නම් ප‍්‍රශ්නයකි.

‘‘ඒකෙ රහස මේකයි. ඒ කාලෙ ලංකාවෙ තිබුණෙ එකම එක ගුවන් විදුලියයි. මේකෙන් සිංදුවක් කියන්න නම් ඒ ගායකයා අනිවාර්යයෙන්ම සරල ගී පරීක්ෂණයෙන් සමත්වෙන්න  ඕනෙ. එතකොට විශිෂ්ට ශ්‍රේණිය ඒ ශ්‍රේණිය බී ශ්‍රේණිය කියලා වර්ගීකරණයක් කළා. මං විශිෂ්ඨ ශ්‍රේණියට සමත්වුණා. එතකොට මාස තුනකට වතාවක් පැය භාගෙක සරල ගී වැඩ සටහනක් ලැබෙනවා. හැබැයි මේ සරල ගී වලට කියන ගීත වල පදමාලා සති දෙකකට කලින් ගුවන් විදුලියට දෙන්න  ඕනෙ. එතකොට ගුවන් විදුලියෙ ඉන්න විද්වතුන්ගෙ නිරීක්ෂණයට ලක්වෙනවා.

දන්නවද ඒ කාලෙ මේ ගී පදමාලා තේරුවෙ කව්ද කියලා. මහගම සේකර, මඩවල එස්.රත්නායක, විමල් අහයසුන්දර, එච්.එම්.ගුණසේකර, ඩෝල්ටන් අල්විස්. දයානන්ද ගුණවර්ධන වගේ අය මේ අයගෙන් නරක පදමාලාවක් අනුමත වෙන්නෙ නෑ. මේ නිසා සරල ගී කියලා ගැයුණු හැම ගීතයක්ම අති විශිෂ්ට නිර්මාණ බවට පත්වුණා’’

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීතාවලිය සිහිපත් කරන විට මගේ මතකය සරසන්නේ ඔබෙ දෙතොල් පෙතිලිහී, දෙව්රම් වෙහෙරේ,
තනිතරුවේ වැනි ගී නිර්මාණය මේ ගී රචනා සියල්ලේ හිමිකරුවා පේ‍්‍රමකීර්ති ද අල්විස්ය.

ඇත්තෙන්ම වික්ටර් රත්නායක ගැයූ ගීත වැඩි හරියක පද රචකයා වූයේ ද ඔහුමය. එබැවින් වික්ටර්ගේ සාර්ථකත්වය පසුපස පේ‍්‍රමකීර්තිගේ සෙවනැල්ලද තිබේ.

‘‘කොහොමද වික්ටර් අයියාට පේ‍්‍රමකීර්ති මුණගැහුණේ?’’ අතීතය රසවත් වන බැවින් මම ඇසුවෙමි.

මම සිංදු කියන්න පටන්ගත්තේ 1964 අවුරුද්දේ ඒත් පේ‍්‍රමකීර්ති ගීත ලියන්න පටන්ගත්තෙ ඊට අවුරුදු හත අටකට විතර පස්සෙ. ඒ වෙනකොට කේ.ඞී.කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග වගේ අය මම ළඟින්ම ඇසුරු කළා. ඔය අතරේ පී.එල්.ඒ සෝමපාලත් හිටිය. මෙයා තමයි සන්ධ්‍යා සේවය බාරව සිටියේ.

‘‘වික්ටර් මට සන්ධ්‍යා සේවයට විතරක් පාවිච්චි කරන්න සිංදු හතරක්  ඕනෙ’’ දවසක් දා සෝමපාල කිව්වා කාට කියලද මේ සිංදු ටික ලියාගන්නෙ කියලා. මං එතකොට ඇහුවා

‘‘අපි පොඩි මාස්ටර්ට කියමු’’ කියලා යෝජනා කළෙත් පී.එල්.ඒ.මයි. ඔන්න එතකොටම කොට කලිසමකුත් ඇඳගෙන තරුණයෙක් ඒ පැත්තට ආවා. ‘‘පොඩි මාස්ටර්’’ කියලා පී.එල්.ඒ. කතා කළාම පේ‍්‍රමකීර්ති එතෙන්ට ආවා.

‘‘අඳුනනවද මෙයාව’’ කියලා පී.එල්.ඒ. ඇහුවා.

‘‘මොකද නැතුව, පාලයියේ මේ අපේ වික්ටර් රත්නායකනේ’’

ඊට පස්සෙ පී.එල්.ඒ කාරණාව කිව්වම පේ‍්‍රමකීර්ති සිංදු ලියල දෙන්න කැමති වුණා. මගෙ සරල ගී වැඩ සටහනකුත් තියෙනවා. ඒකටත් බොදු ගීයක් ලියාගන්න  ඕනෙ කියලා මට කිව්වා. දෙව්රම් වෙහෙරේ පේ‍්‍රම් ලියපු මගෙ පළමුවැනි ගීතය බවට පත්වුනේ ඒ විදිහටයි.

මුතු වරුසාවට තෙමිලා, හිරු පායන පාන්දරින් වැනි ගීත පසුව පේ‍්‍රමකීර්ති වික්ටර්ට ලියාදුන්නේය. ඒ සන්ධ්‍යා සේවය වෙනුවෙනි.
 

තනිතරුවේ ගීතය පේ‍්‍රමකීර්ති වික්ටර්ට ලියාදුන් තවත් අපූරු ගීතයකි. මේ ගීතය පේ‍්‍රමකීර්තිට ලියැවුණේ අහම්බෙන් බව මා කොහේදී හෝ අසා තිබිණි. ඒ ප‍්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට මේ කදිම මොහොත නොවේදැයි මට සිතිණි. මම මේ ප‍්‍රශ්නය වික්ටර් රත්නායකයන් හමුවේ තබමි.

‘‘මගේ ‘ස’ ප‍්‍රසංගයක් තිබුණා ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක. ප‍්‍රසංගය ඉවරවෙලා මදුවිතකින් එහෙම සන්තර්පනය වෙලා මමත් ජෙනරාල් සුනිල් තෙන්නකෝනුත් කතාබහ කර කරා හිටියා. ඔය වෙලාවෙ ඇහුණ කවුරු හරි මහ හයියෙන් තනි තරුවේ කියල කෑ ගහනවා. මං කිව්වා කව්රු හරි කෑගහනව කියලා.

මෙතන විජිත කියලා මගෙ මිතුරෙක් හිටියා. මම කිව්වා විජිතට ගිහින් බලන්න කියලා. බලන්න ගිය මිනිහා මෙන්න ගිය ගමන්ම ආපහු ආවා. පෑනකුයි කඩදාසියකුයි දෙන්න විජිත කිව්වේ කලබලෙන්. කව්ද කෑ ගහන්නෙ කියලා මං ඇහුවා.

පේ‍්‍රමකීර්ති. එයා ගල් තලාවක නිදාගෙන අහස බලාගෙන කෑ ගහනවා. මට කොලේකුයි පෑනකුයි අරගෙන එන්නලූ.

ජෙනරාල්ගෙ අතින් කඩදාසියකුයි පෑනකුයි අරගෙන ගිය විජිතට, පේ‍්‍රම් කියලා තනි තරුවේ ඔබත් ඔතන ඔහොම ඉන්න. මමත් මෙහෙම මෙතන ඉන්නවා කියලා. එච්චරයි. සිංදුවෙ ඉතිරි ටික ලියවුනේ කොළඹ ආවට පස්සෙ මම මේ සිංදුව පටන්ගත්තෙත් තනිතරුවේ කියලා කෑගහලා. මං ඒ ටික ගත්තෙ එදා පේ‍්‍රමකීර්ති කෑ ගහපු තාලෙටමයි.’’

අතීතය මොනතරම් රසවත්ද? වික්ටර් රත්නායකගේ හැම ගීතයකටම එබඳු රස කතාවක්ද ශේෂවී තිබෙන්නට පුළුවන. එහෙත් ගීතයෙන් ගීතයට එබඳු රස මතකයන් සොයා යන්නට මේ කාලය නොවේ.

ඒ සඳහා හොඳම කාලය උදා වනු ඇත්තේ සැන්දෑවටය. නැත්නම් රාත‍්‍රියටය. මේ සැදෑවක අප ගාන්ධර්වයා නිදහස් සුවය විඳින්නේ ගේ අද්දර වත්ත කෙළවර වූ කල්පනා කුටිය තුළ විය යුතුය. පොල් අතු සෙවිලි කළ ඒ කල්පනා කුටිය තුළදී අතීත මතක රස පිරී බිඳෙන් බිඳ සිහිපත් වෙනවා ඇත.

ඇත්තෙන්ම අපට ඇත්තේ අතීතයක් පමණි. සිංහල ගීතයට අනාගතයක් නැත. ‘‘අද හොඳ සිංදුවක් කළොත් ඒක කිසිම එෆ්.එම්. නාලිකාවකින් ප‍්‍රචාරය වෙන්නෙ නෑ. පන්ච් එකක් නෑ කියනවා. අද නාලිකා හොයන්නෙ කොත්තු රොටී සංගීතය. නිතර දෙවේලේ දුන්නේ රසයක් නැති අර්ථයක් නැති සිංදු. ඒත් කිසිම කෙනෙක් සුපිරි තරු තරඟවලට ගිහින් ඔය පන්ච් එක තියෙන සිංදු කියනවද නෑ.... ටි‍්‍රප් එකක් ගිහින් ඔය සිංදු කියනවාද ඒත් නෑ... මේ ඔක්කොම නාලිකා වලින් හදාගත්තු බොරු. ඒ වික්ටර්ය.

කතාකරනවා නම් කතා කරන්නට තවත් බොහෝ දේ තිබේ. එහෙත් මේ සත්‍යයට කන් දෙන්නේ කව්ද? බීරි අලින්ට වීණා වයා ඇති ඵලය කුමක්ද? අපේ ගාන්ධර්වයා දශක හතරකට පෙර ගැයූ අරිසෙන් අහුබුදු ලියූ ගී පද පෙළක් අපට සිහිපත් කර දුන්නේ කනගාටුවෙනි.

පව් කළ දැයක ඉපදීමයි පවලොකුම
හෙළ දැය වුවමනා නෑ හෙලයාහටම
පරයන් රජකරනු දැක දැක හිසමතම
ඇහැ කන වහන් ඉඳුමයි අද හෙළ ලෝදහම