‘‘මේ සන්ධානය කඩා වෙන සන්ධාන ගොඩනගන්නේ නෑ‘‘


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය බිඳදමා වෙනත් සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන වෙනත් පක්‍ෂවලට අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී.ල.නි.ප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ කිහිපයක් වෙනම සන්ධානයක් ගොඩනැගීමට සාකච්ඡා කරන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩු පක්‍ෂ සන්ධානය කඩන්නට කිසිවකුට උවමනාවක් නැතැයි කී දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනවල පක්‍ෂ 10ක පමණ ප්‍රමාණයක් යම් යම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීම වෙනම සන්ධාන හදන ක්‍රියාවලියක් නොව ආණ්ඩුව ශක්තිමක් කිරීමේ ක්‍රියාවලියක් බව ද කියයි.

එහි අරමුණ 69 ලක්‍ෂයක් වන ඡන්ද දායකයින්ට සාධාරණයක් ඉටුකිරීම මිස ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම නොවන බව ද හෙතෙම සඳහන් කරයි.