‘‘මේ මැතිවරණ ක‍්‍රමය අහෝසි කර ගැලපෙන ක‍්‍රමයක් ගෙන්න‘‘ - ගාමිණි ලොකුගේ


විනිතා එම්  ගමගේ
 
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසත්, වහාම මේ මැතිවරණ ක‍්‍රමය අහෝසි කර ගැලපෙන ක‍්‍රමයක් ඉදිරිපත් කරන ලෙසත් වෘත්තිය සමිති රජයට බලකර කියා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේය.
 

රජය භාර ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා යැයි ජනතාව තීරණය කොට හමාර බැවින් ආණ්ඩුව ඉල්ලා අස්වී වහා මැතිවරණයකට යායුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
 
ලොකුගේ මහතා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (14) පපැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති මධ්‍යස්ථානය මඟින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ලොකුගේ මහතා මෙසේ ද පැවැසීය. 
 
‘‘ වත්මන් රජයේ වැඩ පිළිවෙළ වැරදියි කියා තැපැල් ඡන්දයේ දීම රජයේ සේවකයන් දන්වා තිබෙනවා. තැපැල් ඡන්දයේ සියයට 70 ක් විතර ලැබී තිබුණේ පොහොට්ටුවටයි. ඒ වගේම රටේ බහුතර ජනතාවත් පොහොට්ටුවට ඡන්දය දුන්නා. 
 
මේ මැතිවරණ ක‍්‍රමයේ ඇති විකෘති භාවය මේ මැතිවරණයේ දී පෙනී ගියා. ශක්තිමත් පළාත් පාලන ආයතන පිහිටුවන්න බැරිවෙලා තිබෙනවා. ඇප මුදල් රාජසන්තක වූ අපේක්ෂකයන්  මන්ත‍්‍රී වෙන ක‍්‍රමයක් මේ . ආසන නො දිනු ජවිපෙට මන්ත‍්‍රීකම් දෙන අතරේ දිනු අයට බෝනස් නැතිවෙලා තිබෙනවා. 
 
ලැයිස්තුවේ නැති පරාදවුණ අපේක්ෂකයෝ ලැයිස්තු මන්ත‍්‍රිවරුන් ලෙස ගත්තොත් වෙන්නේ ඉදිරියේ දී ලැයිස්තුවට දාන්න කෙනෙක් දා ගන්න බැරිවෙන එකයි. 
 
මේ ආණ්ඩුව එදා ඉඳල කළේ ජාතික සම්පත් විජාතිකයින්ට විකුණන එකයි, දේශපාලන පලිගැනීම් කරන එකයි, රැකියා අහිමි කරන එකයි විතරයි. කම්කරු අණ පනත්වල තිබෙනවා වෘත්තිය සමිති නායකයින් මාරු කරන්න බැහැ කියලා. ඒත් ඒක නොදන්නවා වගේ වැඩ කළේ. 
 
වැඩිකල් නොගිහින් ජනාධිපති තීරණය කරාවි ජනවරම අහෝසියි කියලා. ඒ නිසා මැතිවරණයකට ගිහින් නව ජනවරමක් ගන්න සුදානම් විය යුතුයි. ‘‘