‘‘මුතුරාජවෙල ගොඩකිරීම් ගැන පැමිණිලි හමස් පෙට්ටියට‘‘


(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක්  ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබී ඇතත් එම ආයතන එම පැමිණිලි සම්බන්ධයෙන්  විධිමත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

මේ අතර මුතුරාජවෙල කලාපය අභය භූමියක් ලෙස 1996 අංක947/13 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතත් එහි මායිම් ලකුණු කිරීමක් මෙතෙක් සිදුවී  නැතැයි ද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මුතුරාජවෙල අභය භූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළේය.

අනුව එම කමිටුව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙකේදී රැස්වී ඉදිරි කටයුතු සැලසුම් කිරීමට තීරණය කෙරිණි.