(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ගොනු කළ අභියාචනය ප‍්‍රතික්ෂේප කිරීම නීතියට හා ස්වභාව යුක්ති මූලධර්මයට පටහැනි බව හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.
ඒ මහතා මෙසේ දැනුම් දුන්නේ මෙම ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙසේද පැවසීය.
‘‘ මෙම ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය පිහිටුවනු ලැබුවේ මහාපරිමාණ ආර්ථික සහ මූල්‍යවංචා පිළිබඳ විභාගයට ගැනීමටයි. සාමාන්‍ය නඩු විභාගයට ගැනීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් හිමිවී නැහැ. පෙත්සම්කරුගේ නඩුව මහපරිමාණ ආර්ථික සහ මූල්‍ය වංචාවක් නොවෙයි. එය සාමාන්‍ය නඩුවක්. ඒ පිළිබඳ සාමාන්‍ය මහාධිකරණයක පවා විභාගයට ගත හැකියි.
පෙත්සම්කරුට එරෙහිව ඇත්තේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක්. ඒ පිළිබඳ චෝදනා සාමාන්‍ය අධිකරණයක් හමුවේ ගොනු කළ හැකියි. ඒ නිසා මේ සම්බන්ධ කරුණු මූලික විරෝධතාවයක් හැටියට ඉදිරිපත් කරනු ලැබුවා. එම විරෝධතාව ප‍්‍රතික්ෂේප කළා. ඉන් අනතුරුව අපි මෙම ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට යොමු කළා.
ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමේ අරමුණින් අභියාචනයක් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට යොමු කළා. එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි සඳහන් කරමින් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නැහැ. නෛතික වශයෙන් පක්ෂග‍්‍රාහී නියෝගයක් ස්වභාව යුක්ති මූලධර්මයට පටහැනි යැයිද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය.
මෙම ප‍්‍රතිශෝධන පෙත්සම වැඩිදුර සලකා බැලීම ජුනි 06 වැනි දිනට කල් තැබිණි.
තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.
එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරුන් මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු කියා සිටියි.
එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද එම පෙත්සමේ සඳහන් වේ.
එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු පෙනී සිටියහ.

