‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’


 

 අංජනී ඔබ ඇමරිකාවට ද ආදරේ ලංකාවට ද?
ලංකාවට ගොඩාක් ආදරෙයි. ඇමරිකාව - උපන් රට නිසා එහෙටත් ආදරෙයි. ඒත් වැඩියෙන්ම ආදරේ ලංකාවට. අපේ අම්මයි - තාත්තයි දෙන්නම හඳුනාගෙන තිබෙන්නෙ ඇමරිකාවෙදි. ඉන්පස්සෙ ඒ දෙන්නා විවාහ වෙලා. මාව උපදින්න ඉන්නකොට පියනන්ද හාමුදුරුවන් බණක් පවා වදාරා තිබෙන බව දැනගත්තා. මේ ඔක්කෝම දේවල් නිසා මම ලංකාවට ගොඩාක් ආදරේ ඇති.
 


 කුඩා කාලය කොහොමද ගත කළේ?
ඇත්තටම ඇමරිකාවේ ඉපදුනාට, කුඩා කාලය එහිදී ගත කළේ එහේ විදියට නෙවෙයි. එහි සිටින ශ්‍රී ලාංකීය පවුල්වල දරුවන් සමඟ බොදු සිරිත් වලට මුල් තැන් දුන් සමාජ පරිසරයක ජීවත් වුණේ. අපේ සංස්කෘතියට මුල්තැන් දීම ගැන දෙමාපියන් නිතර කියා දුන්නා. ඇමරිකාවේ ඉපදුනාට මගේ හදවත තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ කියලා හැමෝම කියන්න පටන් ගත්තා.
 

 

 බුද්ධාගම කෙරෙහි උනන්දුව ඇතිවුණේ කුඩා කාලයේදිමද?
ඔව්, දෙමාපියන් නිතර අපට ඒ ආභාසය ලබා දුන්නා. අම්මාගෙ පවුල කතෝලික සහ බෞද්ධ මිශ‍්‍රයි. නමුත් අම්මා ගොඩාක්ම බෞද්ධාගමික වැඩවලට උනන්දුයි. අපිටත් ඒ දේවල් කරන්න ඉඩ දුන්නා. කුඩා කාලයේදී අපේ පියනන්ද හාමුරුවො නංගිටයි, මටයි කියවන්න ලොකු බෞද්ධ පොතක් දුන්නා. අපි බොහෝ දේ ඉගෙන ගත්තා.
 


 ඇමරිකාවේ තරුණ සමාජය අපේ වගේ නෙවෙයි. බොහෝ දේ සමාජයට විවෘතයි. එවැනි සමාජ පරිසරයක සිට ඔබ ජීවිතය අපේ සංස්කෘතියට අනුව හැඩගස්වා ගත්තෙ කොහොමද?
ඇත්තටම ඇමරිකානු සමාජයේ ඇති වේගවත් බව නිසාම දෙමාපියන් අපට  ඕනෑවටත් වඩා තදින් හිටියෙ. ජීවිතය ගැන වටහලා දුන්නා. සැබෑ ජීවිතය කියන්නෙ මොකක්ද කියන වග වටහලා දුන්නා. ඒ නිසාම සභ්‍යත්වය රැකගෙන කටයුතු කරන්න සහ හරි විදිහට හිතන්න පුරුදු වුණා.
 


 කොහොමද මේ චිත‍්‍රපටයේ ප‍්‍රජාපතී දේවියගේ චරිතයට සම්බන්ධ වුණේ?
මුලින්ම මෙහි නිෂ්පාදක මහතුන් වෙත මගේ ඡායාරූප එව්වා. අනිවාර්යයෙන්ම මෙහි චරිතයක් ලැබෙන බව මට දැනගන්න ලැබුණා. නමුත් චරිතය මොකක්ද කියලා කිව්වෙ නැහැ. මුලින් - තීරණය කරලා තිබුණෙ යශෝධරා දේවියගේ චරිතයටයි. නමුත් පසුව මාව ගැලපෙන්නෙ ප‍්‍රජාපතී දේවියගේ චරිතයට කියලා දැනගන්න ලැබුණා. එම චරිතයේ ඇති සමහර ලක්‍ෂණ, ගති යම්තාක් දුරකට මගේ ජීවිතයෙ තියෙනවා. ඒ නිසා මට වඩාත් ගැලපුණේ ඒ චරිතයයි.
 


 ඊට කලින් මේ චරිතය ගැන අහලා තිබුණ ද?
චරිතය රඟපාන්න කළින් මම පිටපත බොහෝ අවස්ථාවල කියෙව්වා වගේම එම චරිතය ගැන බොහෝ දේ දැනගත්තා. මෙහි පිටපත කියවන විට ඇත්තටම මම ඇඬුවා. ඒ තරමටම සංවේදීව එය දැනෙන්න ඇති. කන්ථක අසු මැරෙන වෙලාවෙත්, මහාමායා දේවියගෙ මියයාම සහ සිදුහත් කුමරු නික්මයාම යන තැන්වලදි මට ඉබේටම ඇඬුණා.
 


 දැන් නැවතත් ඇමරිකාවට යන්නෙ නැද්ද?
ඇත්තටම පවුලේ ඔක්කෝමලා නංගි, මගේ හිතවත්ම යාළුවෝ - නෑදෑයෝ ඔක්කෝම එහේ. ඒත් එහේ සියලූ පහසුකම් තිබුණත්, මට මේ රටට - සමාජයට මොනවාහරි කරන්න  ඕනෑ. 92 දි විතර මුලින්ම ලංකාවට එනකොට මම හරි පුංචියි. ශ්‍රී ලංකාව එදා මට දැනුනෙ ලෝකයේ සුන්දරම තැන ලෙසයි. ඉන්පස්සෙ 2002 දී තරුණියක ලෙස නැවත ඇවිත් ගියා. ආයෙත් ආවෙ 2004 දී ආච්චිගෙ මළගමට. එදා සුනාමි ඇතිවී තිබූ නිසා, මම විවිධ පළාත්වලට ගිහින් දුප්පත් මිනිසුන්ට උදව් කළා. සමාජ සේවයේ යෙදුණා. ඉතින් ඇත්තටම මට මේ රටට යමක් කරන්න, රටට ආයෝජන ලබාදෙන විදියෙ වැඩ කටයුතු වලට දායක වෙන්න ගොඩාක් ආසයි. තව ටික කාලයක් මේ විදියට ඉඳලා මගේ යුතුකම ඉටු කරලා නැවත යන්නයි බලාපොරොත්තුව.
 


 මින්පසුව තවත් චිත‍්‍රපටයක රඟපානවද?
චන්ද්‍රන් රත්නම් මහතාගේ සරදියෙල් චිත‍්‍රපටයේ රඟපෑමට තෝරාගෙනයි තිබෙන්නෙ.
 


 ආදරය, විවාහය ගැන එහෙම කතා කළොත්?
ඊට කළින් මට මගේම අත්තිවාරම හදාගන්න  ඕනෑ. තරුණියක ලෙස සමාජයටත් යමක් කළාට පස්සෙ නිසි වයසෙදි විවාහ වේවි. එතකොට මම මේ ඔක්කෝගෙන්ම ඈත්වෙලා විවාහ ජීවිතයට, සැමියාට, දරුවන්ට වගකීම් ඉටු කරන්න  ඕනෑ. ජීවිතය සමබර වෙන්නෙ එතකොටයි.

 

 


(ස්තූතිය - සමන්ප‍්‍රිය මාරසිංහ )

(ඇදුම් නිර්මාණය - ඔමෙෂ් විජේරත්න)