විජය කුවේණි චිත‍්‍රපටයේ විජයගේ චරිතයට ප‍්‍රවේශව සිටින්නේ ඔහුය. එමෙන්ම මේ දිනවල විකාශය වන ‘‘එක්ටැම්ගේ’’ ටෙලි නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතයට දායකව සිටින්නේද ඔහුය. වේදිකාවේදී වේදිකාවට උචිත වූ රංගනයකද, සිනමාවේදී සිනමාවට ගැලපෙන රංගනයෙන්ද, පුංචි තිරයේදී ඊට වඩාත් උචිත රංගන ශෛලියකින්ද පෙනී සිටින ඒ අපූරු රංගන ශිල්පියා රොජර් සෙනෙවිරත්නය. අද සඳැල්ල කතා බහට ප‍්‍රවේශ වන්නේ ඔහුය.
අපි කෙළින්ම කතා කරමු විජය ගැන. විජය වීම ඔබට දැනෙන්නෙ මොන විදියටද?
විජය වීම ඇත්තටම හොඳ දෙයක්. විජය වීම ඇත්තටම අභියෝගයක්.
ඇයි අභියෝගයක් වුණේ. අනෙක් චරිත අභියෝග නොවෙයිද?
රංගන ශිල්පියකු ලෙස මට ලැබෙන සෑම චරිතයක්ම බාර ගන්නෙ අභියෝග ලෙසයි. මම තරග කරන්නෙ මගේ හිතත් එක්ක, මගෙ ගතත් එක්ක, ඒ වගේම මානසිකත්වය සහ මගේ අධ්‍යාපනයත් එක්කයි. ඒ නිසා සෑම චරිතයක්ම මට අභියෝගයක්. නිතරම මම මම නොවී මාව මරලා දාලා ඒ චරිතය ඉස්මතු කරන්න තමයි උත්සාහ ගන්නේ.
කෙසේ නමුත් මේ විජය කියන චරිතය අප කුඩා කළ සිට අසා ඇති, මනසේ මවා ගත්ත චරිතයක්. මේ චරිතයට ඔබ සුදුසු වුණා, ගැලපුණා කියලා ඔබට හැඟෙනවද?
නිරූපන ශිල්පියකු ලෙස ලැබෙන ඕනෑම චරිතයක් අභියෝගයක් ලෙස බාර ගන්න මම සූදානම්. නමුත් එය මට ගැලපෙනවද? නැද්ද? කියලා තීරණය කරන්නේ අධ්‍යක්‍ෂවරයා. මෙහි අධ්‍යක්‍ෂ සුගත් සමරකෝන් අවුරුදු හතරකට - පහකට පෙර ඉඳලම එංගලන්තයේ සිට මට කතා කළේ මේ චරිතයට සූදානම් වෙන්න කියලයි. ‘‘මේ චරිතයට උඹව තෝරාගෙන ඉන්නේ. ඒ නිසා අවශ්‍ය පෙර පුහුණුව ලබා ගන්න කියලා සුගත් අයියා මට කිව්වා’’ කොහොමටත් රඟ කාර්යය උදෙසා මම පෙර පුහුණුවීමේ යෙදෙන කෙනෙක්. නමුත් මේකටම කියලා නැතත් කොරතොට අජන්ත සහෝදරයා වෙතින් අංගම්පොර සටන් පිළිබඳව පුහුණුවීම් නම් කළා. වේදිකාවේ ශිල්පීන් ලෙස මේ විදියට පුහුණුවීම් කිරීම අපට නිරායාසයෙන් එන දෙයක්.
විජය කියන කෙනාට සමහරු කැමතියි. සමහරු කැමති නැහැ. විජය ගැන ඔබට තියෙන දැක්ම බැඳීම මොන වගේද?
කුඩා කාලයේ ඉඳලාම අපට විජය පෙනුනේ නරුමයකු ලෙසයි. ලාට රටෙන් පිටුවහල් කරපු මිනිහෙක්, අපරාධකාරයකු ලෙසයි. නමුත් පසුගිය කාලවකවානුවේදී විජය ගැන සොයන විට, කියවන විට විජය කුමාරයා පිළිබඳ විශාල කම්පාවක් ඇති වුණා.
ඇයි ඒ?
මහා වංශයේ, සහ පුංචි කාලයේ අපි කියවපු පාඩම් පොත්වල හිටපු විජය කුමාරයා නෙවෙයි නේද කියන කම්පාව තමයි ඇතිවන්නෙ. ඒ කියන්නෙ අපි හරියටම ඔහු ගැන අධ්‍යයනය කර නොනිබූ නිසා. නමුත් ඇයි විජයට එහෙම වුණේ? මේ චිත‍්‍රපටය ඒ ගැන හාරා අවුස්සන විට විජය ගැන අපට බොහෝ දේවල් හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා විජය ගැන තිබූ බොහෝ අසාධාරණ දේවල් හිතින් අයින් කරගෙන, අධ්‍යක්‍ෂවරයා සමඟ සාකච්ඡා කරගෙන රංගනයට අවතීර්ණ වුණා.
විජය හැර වෙනත් රජෙකුගේ චරිතයක් රඟපෑමේ ආසාව ඔබට තිබුණෙ නැද්ද?
එක්තරා කාලයක අපේ රට යටත් විජිතයක්ව තිබියදී, ජෝර්ජ් රජ්ජුරුවන්ට ප‍්‍රභූ පාලන පැලැන්තියේ හිටපු සුද්දෙක් ලිපියක් යවනවා. දන්නවද මොකක්ද ඒ ලිපියෙ සඳහන්ව තිබුණෙ කියලා? ‘‘ස්වාමිණී ලංකාවේ මුන් එක්ක අපට සටන් කරන්න බැහැ. මුන් ඔක්කොම රජවරු, අපි සොල්දාදුවෝ’’ කියලා. ඒ නිසා රාජකීය මානසිකත්වය තියෙන මිනිස්සු එක්ක සටන් කරලා දිනන්න නම්, උපක‍්‍රමශීලීව මුහුණ දෙන්න ඕනෑ’’ කියලා. පැහැදිලි ලෙසම ඒක ඇත්ත. අපේ රටේ සියලූම මිනිස්සු රටට ආදරය කරපු මිනිස්සු. මේ රටේ මිනිස්සු එකතු වුණොත් ලෝකය නතුකර ගැනීම ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒ තරමටම හිත් හයියයි. ඔක්කොම රජවරු. ඒ නිසා අමුතුවෙන් කියලා තෝරා ගන්න චරිත ඕනෑ නැහැ.
එහෙම තිබිලත්, රට රජවෙලා නැහැනෙ. රට සෑම තැනකම තියෙන්නෙ බොහෝ වෙලාවට, කුහකකම්, පාවාදීම්, කෙනෙක් නැගී සිටිනවාට තියෙන ඊර්ෂ්‍යාව ආදියයි. ඇයි එහෙම වෙන්න ඇත්තෙ?
ඒකෙ පැහැදිලි ඇත්තක් තියෙනවනෙ. අධිරාජ්‍යවාදීන් ඔවුන්ගෙ සටන පැරදුනාම ඊළඟට කළේ උපක‍්‍රමශීලිව මේ රටේ මිනිසුන්ගෙ හිත් බිඳලා, කඩලා, අවිශ්වාසය ඇති කරලා ගිය එකනෙ. මේ භේද බින්න කම තමයි පවතින්නෙ. මේ රට නතුකර ගන්න උපක‍්‍රමශීලිව ඔවුන් කළ උපායන් තමයි හිත් බිඳවීම, හිත් රැවටීම, හිත් නරක් කිරීම ආදී දේවල්.
ඒක තේරුම් ගත්ත කෙනෙක් නැද්ද? ඒ මානසිකත්වය නැති කරලා දාන්න තරමට?
කොච්චර නම් මිනිස්සු ඉන්නවද? ඒ රජ මානසිකත්වය වගේම එකා වගේ වැඩ කරන මිනිස්සු තමයි ඉන්නෙ. එකෙක් දෙන්නෙක් කළු සුද්දො හැරෙන්නට මේ රට විනාශයට ඇදගෙන යන්නෙ ඒ කළු සුද්දොයි.
සුගත් සමරකෝන් අධ්‍යක්‍ෂණය කළ ගයාන් රණධීර නිෂ්පාදනය කළ විජය කුවේණි චිත‍්‍රපටය ගැන බොහෝ දෙනා බොහෝ දේ කතා කරනවා. ඒ සියල්ල අතරේ ඔබ නරඹන්නෙකු ලෙස මෙය දකින්නෙ කොහොමද?
ඓතිහාසික කතා පුවත් රැගත් චිත‍්‍රපට අපි දකින්නෙ පළමු වතාවට නෙවෙයි. ඉතිහාසයේ ඕනෑ තරම් නිර්මාණය වුණා. මම රඟපාන නිසා මට කියන්න බැරි වුණත්, නරඹන්නෙකු ලෙස මා කියන්නෙ විජය කුවේණි අපේ රටේ හැමෝම නැරඹිය යුතු චිත‍්‍රපටයක් කියලයි. ඔබ නැරඹූ පසු මා කියූ ඒදේ ඔබට දැනෙන බව මට පැහැදිලියි.
සටහන /ඡායාරූප - සඳුන් ගමගේ