‘‘බැදුම්කරයේ ලිපි ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අරක්ෂා කරන්න‘‘


ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

බැදුම්කර සිද්ධියට අදාළ සියලුම ලිපි ලේඛන නීත්‍යයානුකූලව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අරක්ෂා කර  ගැනීමට කටයුතු කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (19) ඉල්ලා සිටියේය.

විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් ඒ බව පැවසූ කතානායකවරයා මෙසේද කීය.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව පරික්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා වු ජනාධිපති විමර්ශන කොමිෂම් සභා වාර්තාවේ C-350-C-360 ලෙස ‘සලකුණු කර ඇති වෙළුම් තුනකින් සමන්විත ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳව 2018 ජුනි මස 05 වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදි සාකච්ඡා කර තීරණය කළ පරිදි එකී ලේඛනය වාර්තාවේ කොටසක් පමණක් වන හෙයින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පෙර C-1-C349 දක්වා වු ‘සලකුණු කර ඇති ලේඛන ද ‘සලකුණු කර ඇති වෙනත් ලේඛන වෙතොත් ඒවාද ඇතුලුව කොටස් වශයෙන් නොවන සම්පුර්ණ සළකුණු කර ඇති ලේඛන සියල්ලම පාර්ලිමේන්තුවට නොපමාව ඉදිරිපත් කළ යුතු බව දන්වමින් 2018 ජුනි මස 12 වැනි දින ජනාධිපති ලේකමිවරයාට ලිපියක් යවන ලදි.

ඊට පිළිතුරු වහයෙන් එකී භාන්ඩාගාර බැදුම්කර විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අදාළ සියලු ලේඛන පාර්ලිමේන්තුවට මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට නීතිපතිවරයාගේ  උපදෙස් පතා ඇති බවත් නීතිපතිවරයාගේ  උපදෙස් සහ එකඟතාවය ලද වාහාම ඒ උපදෙස් අනුව ක්‍රියා කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් 2018 ජුනි මස 18 වැනි සදුදා එනම් ඊයේ දින පාර්ලිමේන්තුවට ලිඛිතව දන්වා ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.

මෙම බැදුම්කර සිද්ධියට අදාළ සියලුම ලිපිලේඛන නිත්‍යනුකුලව ජනාධිපති කාර්යාලයෙන් මා වෙත ලැබෙන තෙක් මාධ්‍ය හරහා එකිනෙකාට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයත් ගරු මන්ත්‍රීවරුන් හා සිවිල් පුරවැසියන්ගේ අභිමානයත් අප දේශයේ ගෞරවයත් හානි දෙන චෝදනා හා ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ගරු මන්ත්‍රීවරුන්ගෙන් හා මාධ්‍යයෙන් ඉල්ලා සිටිමි.