‘‘බලයට පත්වී වසරක් යන්නට පෙර අලුත් ව්‍යවස්ථාවක් ගේනවා‘‘


(එෆ්.අස්ලම්)

බලයට පත්ව වසරක් යන්නට මත්තෙන් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිසැකවම ගෙන එන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ අද (17) ප්‍රකාශ කර තිබේ.

එම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමත් ජාතික ගැටළුවට පූර්ණ බලතල බෙදීමක් සිදුකිරීමත් සිදුවනු ඇතැයිද අගමැතිවරයා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ සඳහන් කළ බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර මීට දෙමළ ජාතික සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙකු හැර අනෙක් සියළුම මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.

මෙහිදී තමන් මීළඟ ආණ්ඩුව තුළින් බලයට පත්ව වසරක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එතුළින් දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට පුළුල් බලතල බෙදීමක් සහිත දේශපාලන විසඳුමක් ගෙන එන බවත් නව මැතිවරණ ක්‍රමයක්ද ව්‍යවස්ථාව තුළින් හඳුන්වා දෙන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ අවධාරණය කර තිබේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා හමුවේ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහාය අගය කරන බවය.ඊට උපරිම සහයක් දෙමළ ජාතික සන්ධානයෙන් හිමිවන බවය.

එමෙන්ම කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ බලතල සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන අතර එම කාර්ය තමන් කඩිනමින් සිදුකරන බවට අගමැතිවරයා මෙහිදී පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සඳහන් කළහ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා වෙත දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තිදෙනෙකු යෝජනා වී ඇතැයි පෙනෙන බවය.

මෙය දෙමළ ජාතික සන්ධානයේ අර්බුදයක් නොව එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් වන හෙයින් එක්සත් ජාතික පක්ෂය විසින්ම ස්ථිර ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන්ද වග තීර්ණය කරගනිමින් පක්ෂයේ ඇති ගැටළුව විසදාගත යුතු බවය.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානය වශයෙන් මෙතෙක් කවුරුන්ට සහාය දැක්විය යුතුද යන්න තීරණය කර නැති බවත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට කන්දෙන විශ්වාසනීය පොරොන්දුවක් ලබාදෙන අපේක්ෂකයා හට දෙමළ ජාතික සන්ධානය සහාය වන බවද සම්බන්ධන් මහතා අවධාරණය කර ඇත.

තවද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියළුම දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බවත් සන්ධානයේ සහාය එම සාකච්ඡා අනුව තීරණය කරන බවත් සම්බන්ධන් මහතා අගමැතිවරයා හමුවේ අවධාරණය කර ඇතැයිද දෙමළ ජාතික සන්ධාන ආරංචිමාර්ග කියයි.