‘‘බඩගොස්තරවාදී දේශපාලනය රටින් තුරන් කරනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් රජය හොර පාරෙන් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා මිය යා හැකි බවත් ප්‍රේමදාස මහතා කීවේය.

මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 35 වැනි අදියර යටතේ මාතර රදම්පළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

එවැනි ඩිජිටල්කරණයක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තොරතුරු තාක්ෂණය හොදින් ඉගෙන ගත් දරු පරපුරක් රටට අවශ්‍ය බවත් එවැනි දරු පරපුරක් ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැනුම කේන්ද්‍රීය ආර්ථිකය බිහි කරන වැදගත්ම සංදිස්ථානය වන ගමේ නගරයේ පාසල් ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් නොමැති වීම නිසා අකර්මන්‍ය වී ඇති බවත් මේ වන විට 32000ක ගුරු හිඟයක් මෙන් ම උපකරණ හිඟයක් ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ලක්ම ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත් ඒ තුළ හොරකම වංචාව අහෝසි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.