‘‘පොහොර නැත්නම් වතුරත් එපා‘‘ ගොවීහු පවසති


(ක.ග.කරුණාරත්න)

‘‘පොහොර නැත්නම් අපිට වතුරත් එපා’’යැයි  හිඟුරක්ගොඩ පැවැති මින්නේරියේ කන්න රැස්වීමේදී ගොවි නියෝජිතයෝ එක හඬින් කියා සිටියහ.

පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ පිහිටි මින්නේරිය ව්‍යාපාර අධිකාරී කාර්යාලයේදී මේ රැස්වීම පැවැත්විණි.

වී වගාවට අවශ්‍ය රජයෙන් ලබාදෙන පොහොර මේ මස 20 වෙනිදාට පෙර අදාල ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත නිකුත් නොකරන්නේ නම් පෙර කන්න රැස්වීමේදී ගෙන ඇති තීරණයට අනුව ඉදිරි මාස් කන්නයේ වී වගාව සඳහා නොවැම්බර් මස පළමු වෙනිදාට මින්නේරිය වැවෙන් ජලය නිකුත් කිරීම සිදු නොකරන්නැයි ගොවි නියෝජිතයෝ දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියහ.

එසේ එදිනට පෙර පොහොර ලබාදුනහොත් ඊට පසුව ගොවි සංවිධානය මගින් රැස්වීමක් කැඳවා වැවෙන් වතුර නිකුත් කළ යුතු දිනය කවදාද යන්න තීන්දුවක් ගෙන ඒ බව දැනුම් දෙන බවද කියා සිටියහ.

තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතයට රජය අවසර දීමට තීරණයකර ඇති හෙයින් වී වගාව සඳහාද සියයට පණහක් රසායනික පොහොර යෙදීම සඳහා අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලීම් කරන බව ගොවි නියෝජිතයින් එහිදී ප‍්‍රකාශ කළ අතර එසේ ලබාදෙන පොහොර නොමිළයේ නොව මුදල් ගෙවා මිලදී ගන්නට සූදානම් බවද කීහ.