
(ඩයනා උදයංගනී)
පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මසක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඊයේ (5) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දීද සාකච්ඡා වූ බව කී අමාත්‍යවරයා,වත්මන් ආණ්ඩුවේ කිසිවෙකුට මෙම පැන්ඩෝරා පත්‍ර මඟින් ඇඟිල්ල දිගු කර නොමැති බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත සම්බන්ධයෙන් මෙම දැවැන්ත හෙළිදරව් කිරීම සිදු කර ඇත්තේ,ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර කොන්සෝර්ටියම (ICIJ)විසිනි.

