(ඩයනා උදයංගනී)
එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා සිදු වූ පරිසර හානියේ බලපෑම තවත් වසර 20ක් පමණ පවතිනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම පරිසර හානිය කිසිසේත්ම ඩොලර්වලින් ගණනය කර හිළව් කළ නොහැකි බව ද ඇමතිවරයා සඳහන් කළේය. නැව ගිලී යාම නිසා සාගරයට එක් වු ප්ලාස්ටික්වලින් වෙරළට ගොඩ ගැසු විශාල ප්‍රමාණයක් මේ වනවිට එක් රැස් කර බහාලුම් 40ක ගබඩා කර ඇතැයි කී ඇමතිවරයා තව කොපමණ ප්‍රමාණයක් සාගරය තුළ තිබේද යන්න හෝ මසුන් විසින් කා දමන්නට ඇත්ද යන්න සොයාගත නොහැකි බව කියයි
එම නෞකාවේ භාණ්ඩ වර්ග 193ක් අඩංගු බහාලුම් 1486ක් පමණ තිබී ඇතැයි කී ඇමතිවරයා රටේ ප්‍රධාන නිෂ්පාදන සමාගම් දෙකකට මාස දෙකක කාලයක් සඳහා අවශ්‍ය ප්ලාස්ටික් පැලට්ස් එහි තිබී ඇතැයි ද සඳහන් කරයි.
මෙම නෞකාවෙන් සිදුව ඇති විනාශයට වන්දි ලබාගැනීම මෙන්ම ඊට වගකිව යුතු සියලු දෙනා හඳුනාගෙන දඩුවම් කිරීම ද කළ යුතු බව කී අමරවීර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව දැනටමත් මේ සම්බන්ධව විමර්ශණ ආරම්භ කර ඇති බවත් දැනටමත් මේ සම්බන්ධ නඩු දෙකක් පැවරීමට කටයුතු කර ඇති බව අධීකරණ ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දැනුම් දුන් බවත් කියයි.

