‘‘නැවෙන් තෙල් කාන්දු වුණොත් එය ලෝකයේ විශාලම පරිසර ව්‍යසනය විය හැකියි‘‘


(ඩයනා උදයංගනී)‍

නැගෙනහිර වෙරළ කලාපයේ ගිනිගනිමින් පවතින නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් වුවහොත් එය ලෝකයේ සිදුවූ විශාලතම පරිසර ව්‍යසනයක් වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳුපුර මහත්මිය පැවසුවාය.

එවැනි හානියක් වුවහොත් නැව අයිති සමාගමෙන් හා අදාළ රක්ෂණ සමාගම්වලින් හානිය අයකරගැනීමට කටයුතු කරන බව ද ඇය කීවාය.

මෙම නෞකාවේ ගින්න නිවා ශ්‍රී ලංකා සමුද්‍ර කලාපයෙන් ඉවතට තල්ලු කර රැගෙනයාමට සැලසුම් කර ඇතැයි ද සභාපතිනිය කීවාය.

යම් හෙයකින් තෙල් කාන්දුවක් වුණොත් ඒ සඳහා සූදානම් විය යුතු බව කී සභාපතිනිය ඒ සඳහා තවත් ආයතන 15ක් සමඟ එක්ව කටයුතු කරන බව ද පැවසුවාය.

ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙසේ ද කීවාය.

         ''මෙම නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් ලෝකයේම විය හැකි විශාල පාරිසරික ව්‍යසනයක්. මේ සම්බන්ධයෙන් අවශ්‍ය වුණොත් ආධාර දෙන්නැයි දකුණු ආසියානු කලාපයේ රටවලින් අපි කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

තෙල් එකතුකර බැහැරකිරීමට අවශ්‍ය උපකරණ කිරින්ද හම්බන්තොට ප්‍රදේශවලට යවා තිබෙනවා. නෞකාවේ සිට නාවික සැතපුම් 5 ක් දුරින් සිට කටයුතු කරන ලෙස ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

තෙල් කාන්දුවක් වුණොත් අපි රක්‍ෂණ සමාගම්, නැව හිමි සමාගම්වලින් අපේ කලාපවට වන හානිය පියවා ගැනීමට ගත හැකි නීති ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.”