‘‘දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්න රජය මැදිහත් වෙනවා‘‘


(අනීෂා මානගේ)

දහම් පාසල්වලට දරුවන් යොමු කරන්න පුළුවන් නම් දහම් පාසල් තුළින් ධර්මය ඉගැන්වීම පමණක් නොව විනය ගරුක සමාජයේ විනය ගරුක දරුවන් බිහි කිරීම කළ හැකියැයිද රජයක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී අපි මැදිහත් වෙනවා යැයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) වීරකැටිය කසාගල රජමහා විහාරායේදී පැවසීය.

125 වැනි ජාතික දහම්පාසල් දින උත්සවය අද (23) විරකැටිය කසාගල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

මේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

      ‘‘අප රටේ බෞද්ධ දහම් පාසල් ආරම්භ කොට වසර 125 ක් සපිරීම වෙනුවෙන් පැවැති රාජ්‍ය උත්සවයට සහභාගී වීමට අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝස වෙනවා. කසාගල විහාරයේ මෙය පැවැත්වීම ඓතිහාසික සිදුවීමක්. යුරෝපීය ජාතීන්ගේ බලපෑම්වලට ගොදුරු වීමත් සමඟ එතෙක් පැවැති දේශීය අධ්‍යාපනය වෙනුවට මිෂනාරී අධ්‍යාපනය අපේ රටට හඳුන්වා දී තිබුණා.

මිෂනාරී අධ්‍යාපන ක්‍රමය තුළින් අපේ රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශ වීම දැකපු ගිහි පැවදි දේශමාමක පිරිස් බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව ඔල්කට්තුමාගේ සංකල්පයක් අනුව 1895 දී අගොස්තු මාසයේ තුන්වැනිදා ලංකාවේ පළමු දහම් පාසල ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද දහම් පාසලේ ආරම්භ වුණා.

1956 වර්ෂයේදී දහම්පාසල් අධ්‍යාපනය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. පෙළ පොත් නොමිලයේ ලබා දෙනවා. 1956 ඇතිවූ පෙරළියත් සමඟ ඇති වූ වෙනස තමයි දහම්පාසල්වලට විශේෂ තැනක් ලැබුණා. බෞද්ධ දහම් පාසල් 11034 ක් තිබෙනවා.

ලක්ෂ 23 ක් පමණ එහි අධ්‍යාපනය ලබනවා. අපි ඒ නිසා අපිට ආඩම්බර වෙන්න පුළුවන් දහම්පාසල් නිසා තමයි දේශීයත්වය සහ සාරධර්ම අපේ දරුවන් තුළ, රට තුළ ආරක්ෂා වී තිබෙන්නේ. දහම් පාසල් ඉදිරියට ගෙනයන්න ගරුතර මහා සංඝරත්නය සහ දහම්පාසල් ගුරුවරුන්ගේ කැපවීම අපි අගය කරන්න ඕනෑ.

ඒ ගුරුවරු කිසිම වේතනයක් ලබන්නේ නැතුව තමන්ගේ කාලය ඒ වෙනුවෙන් කැප කිරීම අපි අගය කරන්න ඕනෑ. අපේ ගරුතර මහා සංඝරත්නය අපි අගය කරන්න ඕනෑ. සමාජයෙන් ඒ අගය කිරීම කෙරෙන්නේ නැත්නම් එය අඩුවක්. දහම් පාසල් නොගිය අයයි වැඩිපුර සිරගෙවල්වල ඉන්නේ. දහම්පාසල්වලට ගිය පිරිස්වලින් අපරාධ සිදුවෙනවා අඩුයි කියලයි සමීක්ෂණවලින් පෙන්වා දෙන්නේ.

දහම් පාසලට යැවීම අනිවාර්ය කිරීම එක්තරා විදියකට අපි හිතනවා. දරුවන් ඉන්න ප්‍රමාණයක් දහම්පාසලට යන අයයි බැලුවාම විශාල දරු පිරිසක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නැහැ දහම්පාසල් තුළින්. විනාඩි 45කින් බෞද්ධ ධර්මය ඉගැන්වූවා කියලා සන්තෝස වෙනවා නම් දෙමවුපියෝ අපි කරන විශාල වරදක් විදියට අපි දකිනවා.

අපිට මේ දරුවන් අනිවාර්යෙන්ම දහම්පාසල්වලට යොමු කරන්න පුළුවන් නම් දහම්පාසල් තුළින් ධර්මය ඉගැන්වීම පමණක් නොවෙයි විනය ගරුක සමාජයේ විනය ගරුක දරුවන් බිහි කිරීම කළ හැකියැයි අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව සිතන්න අවශ්‍ය යුගය අද ඇවිත් තිබෙනවා.

විශේෂයෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය රාජ්‍ය ඇමතිවරයකුගේ යටතේ දහම්පාසල් අධ්‍යාපනය යොමු කිරීම අපේ රජය විසින් ඉදිරියට යෑමට ගත් විශේෂ පියවරක් විදියට අපි දකිනවා. ආරම්භ කළ ඒ ක්‍රියාවලිය ඉදරියට ගෙන යායුතුව තිබෙනවා. මහා සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන්න සූදානම් වූ රජයක් අපිට තිබෙන්නේ. ජනාධිපතිතුමා එතුමාගේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ තුලිනුත් ඒ බව සඳහන් වුණා. රජයක් ලෙස අපි දහම්පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී අපි මැදිහත් වෙනවා.

අපේ දෙමවුපියන් මීට වඩා උනන්දු විය යුතුයි දරුවන් දහම්පාසල්වලට යොමු කරන්න. මේ දරුවන්ට අධ්‍යාපනය පමණක් නෙවෙයි විනය ගරුක දරුවන් බිහි කිරීමේ අවස්ථාවට සහය දැක්වීම සියලුම බෞද්ධ දෙමව්පියෙකුගේම යුතුකමක්.

බෞද්ධ දරුවන්ට පමණක් නෙවෙයි අනෙක් ආගමික දරුවන්ට දහම උගන්වන පාසල් තිබෙනවා. සමහර ආගම්වල මුළු කාලයම උගන්වන්නේ දහම පමණයි. මේවා ගැනත් සොයාබැලිය යුතුයි. ඒ අයගේ දහම්පාසල්වලට ධර්මය ඉගැන්වීමට අපි දෙන සහයෝගය අපි ලබා දිය යුත්තේ සමාජයට වැඩදායි පිරිස් බිහිකිරීමටයි.

අපි දැක්කා පාස්කු ඉරිදා ප්‍රහාරය. ඊටත් වඩා උතුරේ ඇතිවූ ගැටළු. ත්‍රස්තවාදය නැතිකරන්න නම් වඩාත්ම ආගමික අධ්‍යාපනය දියුණු කළ යුතුයි. කිසිම ආගමක මම හිතන්නේ නැහැ ප්‍රචණ්ඩත්වය උගන්වනවා කියලා‘‘ යැයිද කීවේය.