‘‘දඟලන්නට ආවොත් පාන්පිටි සමාගම් දණ ගස්වනවා‘‘


(ඩයනා උදයංගනී)

පාන්පිටි මිල හිතුමතේ වැඩි කරමින් දඟලන්නට ආවොත් කිරිපිටි සමාගම් දණ ගැස්වූ ආකාරයෙන් පාන්පිටි සමාගම් ද දණ ගස්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

පාන්පිටි සමාගම් දෙකක් පාන් පිටි මිල ඉහළ නංවා ඇත්තේ එසේ මිල වැඩි කළ නොහැකි බව නීතිපතිවරයා පවා කියා තිබියදී බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩි මිලට පාන්පිටි අලෙවි කරන ස්ථාන වටලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලෙස තමා අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන් බව කී ඇමතිවරයා පැය 3ක් තුළ එවන් ස්ථාන 51ක් ඔවුන් විසින් වටලා තිබෙන බවද කීවේය.

අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පැවති ජාත්‍යන්තර තරුණ නිපුණතා දින සැමරුම් උළෙලේදී අදහස් දක්වමිනි.

පාන්පිටි සමාගම් පාලනය කළ නොහැකි නම් තමා මෙම ඇමතිධූරය දැරීමේ තේරුමක් නැතැයිද බුද්ධික පතිරණ මහතා කීවේය.

තමන් ලීයකට ඇතුළු වූ කුරුමිණියෙක් වැනි යැයි කී ඇමතිවරයා යමක් ආරම්භ කළ පසු ඉදිරියට මිස පසුපසට නොයන බවද කීවේය.