‘‘කොළඹ කුණු කඳු හෙටින් අවසන් කරනවා‘‘


(ජයන්ත සමරකෝන්)

සතියකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ නගරයේ ගොස ගැසී තිබූ කසළ කඳු හෙට (12) පස්වරු වනවිට පුත්තලම අරුවක්කාලු  කසළ අංගනය වෙත බැහැර කර අවසන් කරන බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවැසීය.

ඉකුත් 9 වැනිදා සිට මෙම කසළ බැහැර කිරීම ආරම්භ වූ බවද ඒ අනුව දිනපතා එකතුවන කසළ මෙට්ට්‍රික්ටොන් 600 ක් පුත්තලම අරුවක්කාලු වෙත රැගෙන යන බවද එම කාලය මාස 6 ක් පමණ විය හැකි බවද ඒ මහතා කීය.

මේ සඳහා කොන්ත්‍රාත් සමාගමකට භාරදී ඇතැයි එම සමාගමට අයත් එක් ලොරි රථයකට පුත්තලම දක්වා යාමට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැයවන බවද ඒ අනුව දිනකට ජනතාවගේ බදු මුදලින් ලක්ෂ 25 කට ආසන්න  මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව එක් මාසයකදී රුපියල් කෝටි 7 කට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයිද නගර සභාව සඳහන් කරයි.

ඉකුත් 5 වැනිදා සිට කොළඹ නගරයේ කසළ වත්තල කෙරවලපිටිය කසළ අංගනයට භාර ගැනීම ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නගරයේ කුණු කසල බැහැර කිරීම අත්හිටුවීමට සිදුවී තිබුණි.