‘‘අදියර කීපයක් යටතේ පාසල් විවෘත කරනවා‘‘


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදී සති දෙකක් ගිය පසු පාසල් අදියරෙන් අදියර විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් පාසල් විවෘත කිරීමේදී උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල් දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2)යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔක්තෝබර් මාසය වනවිට විෂය නිර්දේශ ආවරණය කිරීමට බලාපොරොත්තුවන බවත් දිවයිනේ ප්‍රධාන පෙළේ ජාතික පාසල්වල විෂය නිර්දේශ අවසන් වී තිබෙන බවත් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

කොළඹ රාජකීය ,කොළඹ විශාකා,ගම්පහ රත්නාවලි ,මහනුවර මහමායා යනාදී පාසල්වල විෂය නිර්දේශ මේ වෙනවිටත් අවසන් කර ඇතැයි සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා මේ තත්වය නොව සාමාන්‍ය තත්ත්වය යටතේ වුවත් එම පාසල් විභාගයට මාස තුනක් තිබියදී විෂය නිර්දේශ අවසන් කර පුනරීක්ෂණවලට යොමුවන බවද පැවසුවේය .

එම පාසල් ඉහළ ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ ඒ කැපවීම නිසා බවත් ගම්පහ රත්නාවලියේ උසස් පෙළට මාස තුනක් තිබියදී හැම වර්ෂයකම සියලු විෂය නිර්දේශ අවසන් ඊට හොඳම උදාහරණය බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ දරුවන් ටියුෂන් නොයන බවද ප්‍රේමජයන්ත මහතා කීය .

එම පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරුවරු මවුපියන්ගේද සහය ඇතුව සවස හතර හමාර වනතුරු පාසලේ පන්ති පවත්වන බවත් ඒ කැපවීම අනෙකුත් පාසල්වලටද ආදර්ශයක් බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය .

පාසල් දරුවන්ට එන්නත් ලබාදීම සිදුකරනුයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා නිර්දේශ අනුව බවත් හැම එන්නතක්ම දරුවන්ට ලබා නොදෙන බවත් ඔහු කීවේය.

මේ වර්ෂයේදීත් විභාග තුනම ගිය වර්ෂයේදී පැවැත්වූ ආකාරයටම සාර්ථකව පවත්වන බවද සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේය .