(මනෝජ් හර්ෂික)
ආනයනය කරනු ලබන රසායනික පොහොර කූඨ ලෙස වංචා කර භාණ්ඩ නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (31) පැවැසීය.
රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 35 කට අධික වියදමක් දරමින් ගොවින්ට වී සහ අනෙකුත් බෝග වෙනුවෙන් ලබා දෙන පොහොර සහනාධාරය වංචනිකව ලබා ගන්නන් සඳහා කඩිනමින් නීති ක්‍රියාමර්ග ගන්නා බව අමාත්‍යවරයා කීය.
පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
“කෘෂිකාර්මික නොවන භාණ්ඩ නිෂ්පාදනයේ දී ඇතැම් ප්‍රසිද්ධ ආයතන කිහිපයක් රජය විසින් ලබා දෙන පොහොර කූඨ ලෙස භාවිත කරනවා කියලා තොරතුරු ලැබිලා තිබෙනවා.
මෙම සමාගම්වලට පොහොර අවශ්‍යතාවයක් තියෙනවා නම් සහනාධාර මුදලට නොව ආනයනික මුදලට නිසි අවසරයක් ඇතිව මිලදී ගන්න පුළුවන්. නමුත් පොහොර කූඨ ලෙස මිලදී ගන්න මෙම සමාගම් කටයුතු කිරීම කනගාටුදායක කරුණක්.
මේ පිළිබඳව නීතියෙන් කටයුතු කරන්න පොලිස්පති සහ නීතිපති දැනුවත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්තුමන්ට මම උපදෙස් දුන්නා. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ඉල්ලන්න කටයුතු කරනවා.”
රජයේ සහනාධාර යටතේ ගොවි ජනතාවට ලබා දෙන පොහොර අවභාවිතය, 1982 අංක 12 පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් වශයෙන් නඩු පැවරිය හැකි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

