‘හිටපු ජනපති කොමිසමට කැඳෙව්වේ දේශපාලන වාසි ගන්නයි‘


ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කැඳවා ඇත්තේ කාරණා පහක් සම්බන්ධයෙන් බවත් ඒවා සම්බන්ධයෙන් හිටපු ජනපති කැඳවා කුමක් හෝ වරදක් කර ඇතැයි ජනතාවට ඒත්තු ගැන්වීම තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් මගින් දන්වයි.

කොමිසමේ විමර්ශනයට ලක්ව ඇති කාරණා අනුව පළමු කරුණ වන පුරප්පාඩුවක් නොමැති අවස්ථාවට අනුර සිරිවර්ධන අයිටීඑන් සභාපති කිරීම බවත් එම පත් කිරීම විධිමත් ලෙස සිදු කරන්නේ ජනාධිපති නොව ස්වාධීන රූපවාහිනී සමාගමේ කොටස් අයිතිය ඇති මහා භාණ්ඩාගාරයේ  ලේකම්වරයා බවත් අදාළ පත් කිරීම කර තිබුණේ කලින් එම තනතුරේ සිටි සභාපති ඉවත් වීමෙන් පසු බවත් එම නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම ජනපතිවරණ කාලයේ දැන්වීම් සම්බන්ධයෙන් අය විය යුතු මුළු මුදල අදාළ මීඩියා ෆැක්ටරි, ස්පෙෂල් සොලූෂන් යන ආයතන සම්පූර්ණයෙන් ගෙවා ඇතැයි දැනුම් දී ඇති බව එහි සඳහන්ය. එසේම දැන්වීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරන විට යම් ප්‍රතිශතයක් නොමිලේ ලබාදීමද සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම කරනු ලබන වෙළඳ ප්‍රවර්ධන කටයුත්තක් බවද සැලකිය යුතු බව එම නිවේදනයේ දැක්වේ.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එනම් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ දැන්වීම් ප්‍රචාරය නොකර මුදල් ආපසු දීම ස්වාධීන රූපවාහිනී ආයතනයේ අභ්‍යන්තර කටයුත්තක් බවද මාධ්‍ය නිවේදනයේ සඳහන්වේ.

එම නිවේදනයේ අවසන් වශයෙන් මෙසේ දැක්වේ.

‘‘2015 ජනවාරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයක් අතරතුර අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් ලබාදෙන්නේ කුමන මාධ්‍ය ආයතනවලටද, එවැනි දැන්වීම් කීයක් දමනවාද වැනි කාරණා අධීක්ෂණය කිරීම ඡන්ද අපේක්ෂකයකුට ප්‍රායෝගිකව කළ නොහැක. එමෙන්ම ප්‍රචාරක දැන්වීම් මාධ්‍ය ආයතනවලට ලබාදෙන්නේ ඡන්ද අපේක්ෂකයා නොව ඔහු නියෝජනය කරන දේශපාලන සංධානය හෝ පක්ෂය විසින් ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කිරීමට බාරදී ඇති ප්‍රචාරක ආයතන විසිනි. අපේක්ෂකයා හෝ ඔහුගේ දේශපාලන පක්ෂයවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග ඍජු ලෙස සම්බන්ධ වන්නේ නැත‘‘