‘හිටපු ඇමැති එෆ්සීඅයිඩීයට කැඳවීම සිල්ලර වැඩක්’- අමරවීර


(සනත් ගමගේ)


හිටපු සංස්කෘතික ඇමැති ටී.බී ඒකනායක මහතා එෆ්සීඅයිඩී එකට කැඳවීම සිල්ලර වැඩක් බවත්,  එෆ්සීඅයිඩී එකට කැඳවිමට අවශ්‍ය තෝරුන් මෝරුන් ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අද (29) අම්බලන්තොට දී ප්‍රකාශ කළේය.


ඉන්දියන් රජයේ ආධාර ලෙස ලැබී තිබූ පාපැදි, මහන මැෂින් හා උදළු තල අම්බල්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේ ජනතාවට බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයක දී මහින්ද අමරවීර මහතා මේ බව කීය.


හොරකම් කලා නම් ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා වෙන් කිරීමක් කරන්න බැහැ. අපි එදත් කිව්වේ හොරුන්ට දඩුවම් කරන්න කියලා ඒත් දඬුවම් කිරීමේ ප්‍රමාදයක් පවතිනවා. ටී.බී ඒකනායක හිටපු සංස්කෘතික ඇමැතිතුමා වාහනයක් අවභාවිතා කළා කියා එෆ්සිඅයිඩීයට කැඳවීම සිල්ලර වැඩක්. ඊට වඩා කැඳවිය යුතු අය ආණ්ඩුවේත් විපක්ෂයේත් ඕනෑ තරම් ඉන්නවා.

ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියලා විතරමයි ජනමාධ්‍යයෙන් කියන්නේ ඒ කියන දේ පමණයි ජනතාවත් දන්නේ මේ ආණ්ඩුව ගෙවනු වසර දෙක තුළ විශාල වැඩක් කරල තියනවා. ඒ කිසිවක් මාධ්‍ය මගින් කියන්නේත් නැහැ පෙන්වන්නෙත් නැහැ.

එම නිසා රජය ලෙස අපි තීරණය කලා ගමින් ගමට ගිහින් රැස්වීම් තියලා ජනතාව දැනුවත් කරන්න මේ රජය මෙතෙක් කරපු වැඩ පිළිබඳව. මගේ දේශපාලනයේ ද වැඩියෙන්ම ජනතාවට  ගමට වැඩ කරන්න පුළුවන් වුණේ මේ වස‍ර දෙකේ දී බව මහින්ද අමරවීර මහතා කීය.