‘හැකි නම් රිෂාඩ් බදියුදීන්ට ඇමතිකමක් දීලා බලන්න’


(කේ.ආර්.රාජමන්ත්‍රී)

එල්ල වූ චෝදනාවලින් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් නිදොස් බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශ කර ඇති බවත්, හැකිනම් ඔහුට ඇමතිකමක් දෙන්නැයි තමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බවත්, එසේ වුවහොත් උපවාසයකට රටම පෙළගස්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ස.තො. ස. වාහන අවභාවිතය හා ත්‍රස්තවාදී සම්බන්ධකම් පැවැත්විම යන කාරණා ගණනාවක් සම්බන්ධව හිටපු ඇමති බදියුදීන්ට විරුද්ධව තමන් පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි රැසක් කර ඇති බවත්, එවැනි පැමිණිලි  දින 30 කාලයකදී පරීක්ෂා කර අවසන් කළ නොහැකි බවත්, එවන් පසුබිමක තේරීම් කාරක සභාව ඔහු චෝදනාවලින් නිදොස් බව ප්‍රකාශ කර ඇතිබවත් හිමියෝ සඳහන් කළහ.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන  ශ්‍රවණාගාරයේදී කැප්පෙටිපොළ නගරයේ එක්සත් වෙළඳ සංගමයේ නියෝජිත හමුවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරුලියේ රතන හිමිගෙන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවසුහ.

‘රිෂාඩ්  බදියුදීන් මහත්තයාට ඇමතිකමක් දුන්න වහාම අපි  විශ්වාස භංගයෝජනාව අලුත් කිරීමක් කර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එසේම  මෙයට එරෙහිව රටම සුදානම් කර උපවාසයකට පෙළගස්වනවා. එය නව ජනතා නැගිටීමක් වේවි. අර්බුදකාරි යැයි කියන 19 වැනි සංශෝධනය මුළුමනින්ම අහෝසි කරන්න කිසිවෙකුවත් කියන්නෑ. එම සංශෝධනය අපි විධිමත්ව සාකච්ඡා නොකර කලබලයෙන් කළ නිසා එහි යම් යම්  වගන්තිවල අඩුපාඩුකම් තිබෙනවා.එය විධිමත්ව සාකච්ඡා කර  සිදුව ඇති අඩුපාඩු වගන්ති ඉවත්කර නැවත නිවැරදි වගන්ති එකතුකර දැන්වුවත් මෙම පාර්ලිමේන්තුවේදී  හෝ ලබන පාර්ලිමේන්තුවේදී  සම්මත කරගෙන මෙම ගැටලු විසදාගන්න ඕනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපවාසන භික්ෂුන් වහන්සේලා බෞද්ධ දර්ශනයට අනුව නිගන්ඨයන් පිරිසක් බවට හදුන්වා දෙමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්  උන්වහන්සේ මෙසේ පැවසුහ.

"උපවාසය යන අවි ආයුධ නැති නිරායුධ තමන් විසින්ම සමාජයට දෙන පරමාදර්ශයක් බව කියන්න ඕනි. තව එක දවසක් අපි උපවාසයේ හිටියා නම් මිටත් වඩා ජනතාව අවදි වෙනවා. සහරාන්ගේ මිනීමරු ඝාතන බෝම්බයට එරෙහිව අප අවිහිංසාවාදී  බෞද්ධ අධ්‍යාත්මික පණිවිඩය රටට ගෙන ගියා. 

ඉන්දියාවේ  මහා දාර්ශනිකයකු ලෙසින් අදත් පිළිගන්නා නිගනණ්ඨනාථපුත්ත ගැන නිසි දැනුමක් නැතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය එතරම් තැකිමක් කරන්නෑ. ජින මහා වීර ලෙසින් හදුන්වන නිගන්ඨනාථපුත්තගේ දර්ශනය පිළිබදව වටිනාකම ගැන බෞද්ධ දර්ශනයේ විවිචනයක් තිබුනත්  ඉන් බෞද්ධ දර්ශනයට ලැබුණු ආභාෂය අති විශාලයි.  වස්විසීම වැනි බෞද්ධ දර්ශනයටද විවිධ දේවල් නිගන්ඨනාථපුත්‍ර දර්ශනයෙන් උකහාගෙන තිබෙන. ඉර නොබසින අධිරාජ්‍ය  වන එංගලන්තයට එරෙහිව ගාන්ධිතුමා උපවාස සංකෘතිය තුළින් විශාල බලපෑමක් එල්ලකළා. එමදර්ශනයෙන් අපි බොහෝ දේවල් අරගෙන තිබෙනවා.

ඒ උපවාසය අපි ගත්තාට කිසිම වරදක් දකින්නට නෑ.ඒ අනුව උපවාස කරන හාමුදුරුවරුන්ට රනිල් වික්‍රමසිංහ නිගන්ඨයෙක් කීවාට අපි ලැජ්ජා පත්වෙන්නේ නෑ. නිරිහාරව සිටිම හා ජීවිත පූජාව බෝධිසත්ව චරියාවක්. ක්වාඩක් හිමියන් වියටිනාමයේදි ජීවිත පුජාකර ඇමරිකාවට එරෙහිව ලෝක ජනමතයක් ඇතිකළා.  සහරාන්ගේ මිනීමරු බෝම්බය නොවෙයි අපි ගත්තේ. අවිහිංසාවේ අවියයි අපි පාවිච්චි කලේ. සහරාන්ගේ බෝම්බකරුවන්ගේ බෝම්බය නොවෙයි ගන්න ඕනි. රනිල් වික්මසිංහ මහත්තයා දැන් සහරාන් ඇතුළු අන්තවාදී මුස්ලිම් බෝම්බකරුවන්ගේ සරණ ගිහිල්ලා. එයින් මිදි ජිනමහා වීරගේ අවිහිංසා උපවාසය දකිනවා නම් වඩාත් හොඳයි. අගමැති වික්‍රමසිංහ මහත්තයාට ඔය වැනි එක එක කටමැත දොඩන්නට ඇත්තේ තව මාස 03ක පමණ කාලයක් බව කියන්න ඕනි" යැයි ද ප්‍රකාශ කළහ.