‘සෞඛ්‍ය සේවිකාවගෙන් වරදක් වී නැහැ’


(රත්න චන්ද්‍රසේන ගමගේ)
 
‘පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකර තිබෙනවා. ඇය අතින් කිසිදු වරදක් සිදු වී නැහැ. මේ දරුවා මියගිහින් තිබෙන්නේ, මව්පියන් ඒ දරුවා පිළිබඳව දැක්වූ අඩු සැලකිල්ල නිසා’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.
 
ඇය එසේ පැවසුවේ මන්දපෝෂණයෙන් මිය ගිය තිස්සමහාරාම විජේපුර මලිත් මිහිරංග දේශප්‍රිය රාජපක්ෂ දරුවාගේ මරණය පිළිබඳව ලංකාදීපය කළ විමසීමකදීය. වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ තම නිලධාරීන් අතින් කිසිදු අතපසුවීමක් සිදු වී නැති බවයි.
 
“පවුල් සෞඛ්‍ය සේවිකාව එම දරුවා සිටි නිවසට ගොස් නිරන්තරයෙන් සොයා බලා තිබෙනවා. දරුවාගේ බර කිරා තිබෙනවා. ත්‍රිපෝෂ ලබාදීමට නිර්දේශ කර තිබෙනවා. එම මව්පියන් එක්වරක් පමණයි සායනයකට පැමිණ තිබෙන්නේ.
 
හම්බන්තොට දිස්ත්‍රික්කය ලංකාවේ ළදරු පෝෂණ මට්ටම අතින් දෙවැනි ස්ථානය ගන්නවා. දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් ළමයෙක් මැරෙන්න තරම් තත්ත්වයක් නැහැ. අනෙක දුප්පත් වූ නිසාම දරුවෙක් මන්ද පෝෂණයෙන් මියයන්න හේතුවක් නැහැ. මේ සමාජයේ දරුවෙකුට බත් ටිකක් කන්න දෙන්න බැරි තත්ත්වයක් තවම නැහැ.
 
මේ දරුවාගේ මරණයෙන් පසුවත් අපි ඒ පවුල පිළිබඳව විමසිල්ලෙන් ඉන්නේ. අනෙකුත් ළමයින් පිළිබඳව සැලකිලිමත් වියයුතු බවට දිස්ත්‍රික් ලේකම් දැනුවත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් දිස්ත්‍රික් ලේකම්ගෙන් වෙලාවක් ඉල්ලා තිබෙනවා” යැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.