‘සියලු පාර්ශවයන්ගෙන් අදහස් අරගෙන පොහොර ප්‍රතිපත්තියක් හදන්න‘


(නිමල කොඩිතුවක්කු)

ගොවීන්ගේ හා ඊට අදාළ සියලු පාර්ශවයන්වල අදහස්, යෝජනා සහ උපදෙස් ලබාගෙන නව පොහොර ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති  කරු ජයසූරිය මහතා පවසයි.

ඛේදවාචකයන්ගෙන් පවා ප්‍රයෝජන ගන්නා ගජ මිතුරු බලවේගවලට රටේ සිදුවන ඛේදවාචක වසන්තයක් කරගැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් ජයසූරිය මහතා සඳහන් කරයි.

"රටේ වර්තමාන තත්ත්වය ගැන සුළුවෙන් තැකිය යුතු නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම බියකරු තත්ත්වය ගැන අපිව දැණුවත් කර තිබෙනවා. ඒ නිසා රටක් වශයෙන් අප ගත කරන්නේ ඉතාමත්ම වගකීමකින් හා කාර්‍යක්ෂමව කටයුතු කළ යුතුව ඇති කාල වකවානුවකයි. නමුත් එවැනි පරිසරයක් රටේ දකින්නට තිබෙනවාද කියන ගැටලුව මෙතනදි මතුවෙනවා.

ඉදිරි දින කිහිපය තුළ සයිනොෆාම් හා ස්පූටිනික්  එන්නත් විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත හෙයින් රජයේ එන්නත් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැක. නමුත් එය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව විද්‍යානුකූලව සිදුකළ යුතුයි.

ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය පිළිබඳ ජනාධිපතිවරයා විසින් දැඩි තීන්දු ගෙන තිබෙනවා.

ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට හදිසි තීරණ ගෙන සති කිහිපයකින් බලපවත්වන ආකාරයට පොහොර භාවිතය සම්බන්ධව  ප්‍රතිපත්ති සකස් කර නැහැ.

මීට අමතරව ඇතැම් විදේශ රටවලින්  කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ද සැලසුම් සකස් කර ඇති බව වාර්තා වී තිබෙනවා. එය රටට විශාල වශයෙන් හානි වීමට ඉඩ තිබෙනවා.