‘සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කළොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළ යනවා‘


( නාලක සංජීව දහනායක)


රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් තබා තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක‍්‍රියාත්මක කළහොත් ඇමරිකානු ඩොලරය රුපියල් දෙසීය දක්වා ඉහළ යෑම කිසිවකුටත් නතර කළ නොහැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවසීය.
         

ඒ අවධානම පිළිබඳව ජනාධිපතිවරයා ප‍්‍රමුඛ වත්මන් රජයට අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් නැතැයිද ඔහු කීය.
                     

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.                        

මේ වනවිට වාණිජ බැංකු ඇමරිකානු ඩොලරයක් අළවි කරන්නේ රුපියල් 162 මුදලකටයි. නිදහස ලබාගැනීමෙන් පසුව ඇමරිකානු ඩොලරය නොසිතු විරූ අන්දමට ඉහළ ගිය පළමු වතාව මේකයි.


 පසුගිය රජය රට බාරගන්නා විට ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 105 මුදලක් ගෙව්වා. දේශීය මෙන්ම විදේශීය අර්බුධ රාශියකට මුහුණ දී එම රජයේ දස වසරක පාලනය නිමවනවිට ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙව්වේ රුපියල් 131යි.

අවුරුදු දහයටම ඩෙලරයක් සඳහා වැඩි වුනේ රුපියල් 26. නමුත් යහපාලන ආණ්ඩුවේ වසර තුනහමාර ගතවනවිට ඇමරිකානු ඩොලරයකට රුපියල් 162 මුදලක් ගෙවනවා. ඒ අනුව අවුරුදු තුනහමාරට ගෙවන මුදල රුපියල් 31 වැඩිවෙලා.


රුපියල මස්තබාල්දුවීම මේ රජයට නතර කරන්න බැහැ.රුපියල බාල්දුවීම නිසා ජීවන විදයදම එකට එකක් ඉහළ යනවා. එය පොදු ජනතාවගේ ජීවිතයට සෘජුවම බලපානවා.


 ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචි බොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.