‘සාකච්ඡා සාර්ථකයි’


(අංජුල මහික වීරරත්න)
 
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය  සම්බන්ධයෙන් එක්සත් ජාතික  පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කළ  සාකච්ඡාව ඉතා සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය.
 
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ඉකුත් අඟහරුවාදා (10) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ගත් තීරණයක් මත සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාව ඊයේ  (14 ) රාත්‍රී පැවැත්වුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදීය.
 
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සමඟ සාකච්ඡා කරන ලෙස අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.
 
ඒ අනුව පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා එක්සත්  ජාතික පෙර පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් වන මහනගර  සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, උසස් අධ්‍යාපන නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් ,රාජ්‍ය භාෂා සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහත්වරුන් සහභාගි වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 
එම සියලුම පක්ෂ නායකයන් සමඟ කළ සාකච්ඡාව ධනාත්මක මෙන්ම අතිශය සාර්ථක වූ බව ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
මේ සතිය ඇතුළතදී ම ජනපති  අපේක්ෂකත්වය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමටත් එලෙස අවසන් තීරණයකට එළැඹෙන තුරු  සාකච්ඡා කරන තොරතුරු පිළිබඳව මාධ්‍යයට හෙළි නොකිරීමටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බවද වාර්තා වේ.
 
මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක්  අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.