‘සා.පෙළවත් නැති අනූවක් පාර්ලිමේන්තුවේ‘


වසර දෙකකට වරක් පවත්වන ලෝක ප‍්‍රසිද්ධ ගුවන් යානා ප‍්‍රදර්ශනය පසුගියදා පැරීසියේදි පැවැත්විණි. සතියක් පුරාවට පැවැති මෙම ප‍්‍රදර්ශනය මහජනතාව සඳහා දින තුනක් ද ගැනුම්කරුවන් සඳහා දින හතරක් ද ලෙස වෙන්කර තිබුණි.

එම ප‍්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඇමති රෙජිනෝලඩ් කුරේ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඒ අතරතුර පැරිස් එකමුතුව විසින් සංවිධානය කළ සුහද හමුවකට ද සහභාගි ඔහු සහභාගී විය. යහපාලන ක‍්‍රියාවලියත් සමඟ ශ්‍රී ලාංකිකයෝ අන්ද මන්ද වී ඇති බවක් පෙනෙන බව ඔහු කීවේය. කවදාවත් සිදු නොවුණු ලෙස එජාප ඡන්දයෙන් ශ්‍රීලනීප ලේකම් ජනාධිපති විය. ශ්‍රීලනීප ඡන්දයෙන් පක්ෂයේ එවකට සභාපති හිටපු ජනාධිපති පරාජය විය. සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවී තිබුණත් සුළුතරයෙන් අගමැති පත් විය. බහුතරයෙන් විපක්ෂ නායක පත්විය. ප‍්‍රංශයේ ඇති යහපාලනය සියයට සීයකින් භුක්ති විඳින අපේ අයටත් ශ්‍රී ලංකාවේ යහපාලනය ප‍්‍රශ්නයක් වෙලා. ඉතින් අපි ගැන කුමන කථාද ?

නමුත් කලබල නොවී ඉවසීමෙන් ඉන්නා ලෙසත් ප‍්‍රංශයේ අද තියෙන යහපාලනය දින සියයකින් ගොඩ නැඟු එකක් නොවන බවත් සුළී සුලඟක් ඇවිත් බිම තිබිය යුතු දේවල් උඩට ගිහිල්ලා උඩ තිබිය යුතු දේවල් බිමට වැටිලා ඇති මොහොතක්. සුළි සුලඟ පහව ගොස් ටිකක් ඝෝෂාව සමනය වනතුරු කලබල නොවී ඉවසන මෙන් ගුවන් සේවා ඇමැති පැරිස් රැස්වීමේදි පැවසීය. පැරීසියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජාත්‍යයන්තර ශාඛාවේ නිල වෙබ් අඩවිය ද එදින එළිදැක් වුයේය. 

ප‍්‍රශ්නය ඔබගේ ප‍්‍රංශ සංචාරයේ අරමුණ කුමක්ද?

පිළිතුර :

ප‍්‍රංශයේ පවත්වන ගුවන් යානා ප‍්‍රදර්ශනයට සහභාගි වීමයි මගේ අරමුණ. ඒ තුළින් ලබන තාක්ෂණික දැනුම හා අත්දැකීම් තුලින් අපේ ගුවන් සේවය ගුවන් තොටුපොළවල  නඩත්තුව ආදි දේවල් මගින් අපේ ගුවන් සේවය වැඩි දියුණුකර ගැනීම මගේ බලාපෙරොත්තුවයි. ප‍්‍රංශයේ ගමනාගමනයට ඉන්නේ එක ඇමතිවරයයි. මම ප‍්‍රංශයේ එම ගමනාගමන ඇමති සමඟ නිලධාරීන් හමුවුණා. ප‍්‍රංශයේ තියෙනවා ගුවන් නියමුවන් හා එම විෂයට අයත් විධායක හා කාර්මික ශිල්පීන් පුරුදු පුහුණු කරන විශ්ව කීර්තියට පත් ආයතනයක්. දැනට එම ආයතනය විසින් ලතින් ඇමෙරිකාවේ එවැනි විදුහලක් ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ සමඟම මැද පෙරදිග ඩුබායි චීනයේ වගේ රට වලත් එම ආයතනයේ ශාඛා පිහිටුවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියාවේ පිහිටුවන එම ආයතනය අපේ ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙස මම ඔවුන් ගෙන් ඉල්ලීමක් කළා. දැනට අපේ රටේ එවැනි පුහුණූ කිරීමේ ආයතනයක් තිබෙන අතර එහි ඉගෙනුම අවසන් කළ විශාල පිරිසක් මැදපෙරදිග ගුවන් සේවයන්හී සේවය කරනවා. ඒ වගේම එම විදුහල්වල ඉගෙනීමට දකුණු ආසියාවේ පිරිස් පැමිණෙන තත්ත්වයකුත් තිබෙනවා. එය අපේ රටට කීර්තියක් මෙන්ම හොඳ අවස්ථාවක්. ආසියාවේ ගුවන් කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේ එක් සැලසුමක්. ඉහත සඳහන් යෝජනාව ඒ සදහා අපේ රටට හොද අවස්ථාවක්. ඒ අනුව ප‍්‍රංශ බලධාරීන් අපේ රටට පැමිණ නිරීක්ෂණ පරීක්ෂණ ඇතුලත් ශාක්‍යතා වාර්තාවක් සකසා එම ඉල්ලීම ඉටුකර දීමට ඔවුන් පොරොන්දුවීම අපේ මෙම සංචාරයේ ලොකු ජයග‍්‍රහණයක්. ඊළඟට අපේ ගුවන් සේවය වගේම අනෙක් විදේශීය ගුවන් සේවයන් අපේ රටට පැමිණිමත් ඉතාම අවශ්‍යය වෙනවා. එබැවින් ප‍්‍රංශ ගුවන් සේවයත් ශ්‍රී ලංකාව සදහා ගමන් වාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එයට යහපත් ප‍්‍රතිචාර ලැබුණා. ඊට අමතරව ජර්මනිය හා සිංගප්පූරුවේ ගුවන් සමාගම් සමඟ ගුවන් යානා කාර්මික ශිල්පීන් පුහුණු කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමටත් සාකච්ඡා කළා. එසේ වුවොත් විශාල ඉඩ කඩක් ඇති මත්තල පිහිටුවීමට අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා ප‍්‍රංශ ගමනාගමන ඇමතිතුමාට ලංකාවට පැමිණෙන ලෙස අපි ඇරයුම් කළා. මා දන්නා පරිදි ගරු ජනාධිපති තුමා නොවැම්බර් මස ප‍්‍රංශයේ චාරිකාවක යෙදීමට නියමිතයි. මැතිවරණයෙන් පසු අපි හිටියොත් එතුමා සමඟ ප‍්‍රංශයට පැමිණ ඉහත ඉල්ලීම් සදහා ගිවිසුම් අත්සන් කිරීමට ලැබේවි යැයි මම සිතමි. ප‍්‍රංශ සංචාරයෙන් ලද අත්දැකීම් තුලින් එය සිදුකර ගැනීමට මම උපරිමයෙන් වෙහෙසෙනවා.

ප‍්‍රශ්නය :

ඔබගේ අතීතය සමඟ අද දක්වා දේශපාලන ගමන් මග සාරාංශ ගත කළොත් සමාජවාදි න්‍යාය ධර්ම ගරු කොට සලකමින් දේශපාලන අත් පොත තැබූ ඔබ නවීන තාක්ෂණයෙන් දියුණු 21 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප‍්‍රවාහයේ ඇමැතිවරයෙක්. යහ පාලනය අර්ථ දක්වන්නේ කෙසේද?

පිළිතුර

දේශපාලනයත් මිනිස් ශරීරයක් වගේ. ශරීරයේ වාතය, පිත, සෙම කියන එක සමනය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර වෙනවා. මේ තුනම සමතුලිත නොවුණ හොත් ලෙඩ රෝග ඇති වීමට හේතු වෙනවා. දේශපාලනයත් ඒ වගේ. එය යම් ධරනීය හෝ යම් සමතුලිත භාවයකින් දේශපාලනයේ නිරත විය යුතුයි. දැන් අපි එක කාලයක් සමාජවාදය සදහා නිර්ධන පංති විප්ලවය සදහා සටන් කළා. 71 , 88 අරගලය ඒ සෑම දෙයක්ම අසාර්ථක වුණා. ඒ තුලින් ප‍්‍රතිගාමිත්වයට ඉඩකඩ සැලසුවා. යු එන් පිය බලවත් වීමට එය හේතුවක් වුණා. දෙවන පාර ඇන් ඇම්, කොල්වින් පිලිප් වික‍්‍රමසිංහ වගේ අය ආණ්ඩුවට ඇවිත් සභාගිවි ආණ්ඩු ඇති කරමින් සමාජවාදයට යන්න උත්සහා කළා. ඒ තුලින් වරාය, තෙල්, බස් ජනසතු කළා. අවසානයට මරදානේ බුහාරියත් ජනසතු කළා. නමුත් එය කෙළවර වුණේ සමාජවාදයෙන් නොව නිලධාරිවාදයෙන්ය. නිලධාරිවාදය එකතු වීමෙන් දුෂණය සොර කම, වංචාව, පාඩුව ලෙස ඉහත සියලූදේ දුෂිත ආයතන බවට පත්වෙලා මිනිසුන්ට සමාජවාදය සමාජ වධයක් බවට පත්වුණා. එබැවින් රජය සතුදේ මහජනයට ලබා දීමෙන් සමාජවාදයට යන්න බැරි බව ඔප්පු වුණා. එයින් මොකක්ද වුණේ ? මලකඩ කාපු බස් ජනසතු කළාට මහජනයගේ සිත් ජනසතු කිරීමට බැරි වුණා. හැබැයි ඒ දෙකම අසාර්ථක වුණාට සමාජවාදය පිලිබඳ අවශ්‍යතාවය ලෝකයට තිබෙනවා. සමාජවාදයේ මූල ධර්මය තමයි සමාජ සාධාරණත්වය. එය හැමදාම පවතිනවා. එම නිසා අපි සාධාරණ සමාජයක් වෙනුවෙන් කරන සටන අත්හැරිය යුතුද නැතහොත්  එම නිසා පවතින රටාව අනුව එයට අනුකූල වෙමින් එම ස්ථානය ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ ගමන අපි මේ දක්වා පැමිණ තිබෙනවා. අද සිදුවෙන සමහර දේවල් වලට අපි එකඟ නොවුණත් යථාර්තවාදය සමඟ එක් වෙමින් එම පසුබිම වෙනස් කිරීම තමයි අපි කළ යුතු වන්නේ. දැන් ඇතිවී ඇත්තේ එම සටනයි.

ප‍්‍රශ්නය :

හිටපු රජයේ සමහරක් දේශපාලන ප‍්‍රබලයෝ යහ පාලන ක‍්‍රියාවලියට එතරම් කැමැත්තක් නැති බව ඔවුන්ගේ කථා හා ක‍්‍රියා කලාපයන්ගෙන් පෙනෙනවා. සමහරක් එම ක‍්‍රියාවලිය පණ ගැන්වීමට වෙහෙසෙනවා.සමහරක් අඩපන කිරීමට වෙහෙසෙනවා. ඔබ  ඉන්නේ මොන කොටසේද?

පිළිතුර

නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා දේශපාලන පක්ෂ අවශ්‍යය වෙනවා. එම පක්ෂ වලට මැතිවරණ අවශ්‍ය වෙනවා. ඒ අය මැතිවරණ වලට තරඟ කරලා තමයි ආණ්ඩු පිහිටු වන්නේ. එතකොට පක්ෂයකට කෙනෙක් බැදුනා ම; පක්ෂයි කියන්නේ මොකක්ද? මධ්‍යස්ථ නොවෙයි කියන එකයි. පක්ෂයකට උඩින් දෙවියන් බුදුන් සිටිය යුතුයි. පක්ෂයකට උඩින් ඉර හඳ තිබිය යුතුයි. රට ජාතියත් ඒ වගේමයි. ඊට උඩින් පක්ෂයක් තිබිය යුතු වන්නේ නැහැ. ඒ වගේම මිනිසුන්ට හෘද සාක්ෂිය කියලා දෙයකුත් තිබෙන්න  ඕනේ. ඔය හතරට අනුව තමයි දේශපාලනය කළ යුත්තේ. ඒ මම අදහස් කරන දෙයයි. යුඑන්පිය කලත් අපේ එකා කලත් හොරා හොරාම තමයි. එකේ වෙනසක් නැහැ. එම නිසා පක්ෂ බේදයකින් තොරව හොරාට දඩුවම් කළයුතු වන අතර අපේ හොරා හොද වෙන්නත් ඔවුන්ගේ හොරා නරක වෙන්නත් හේතුවක් නැහැ නේද මන්ද සියලූ දෙනා හොරු නිසා. ඊළඟට තොරණක් දෙස බලන්න. තොරනේ ලයිට් පත්තු වෙනවනේ. තොරනෙ ඉස්සරහා රතු පාට, කොල පාට, නිල් පාට, කහ පාට බල්බ් එකට පත්තු වෙනවා. ඒවා වෙන වෙනමත් නිවෙනවා පත්තු වෙනවා. නමුත් තොරනේ පස්සට ගිහිල්ල බලන්න. ඔය හැම පාටකම වයර් එකකට එකක් ඇමිනිලා ඇඹරිලා එතිලා එක පොදියට තිබෙනවා. ඔය දෙගොල්ලම හිටියේ එහෙමනේ. ඒ කියන්නේ යුඑන්පි ආණ්ඩුව ශ්‍රීලංකා හොරුන්ට දඬුවම් කළේ නැහැ. ශ්‍රීලංකා ආණ්ඩුව යුඑන්පි හොරුන්ට දඬුවම් කළෙත් නැහැ. ඔය ටිකනේ මෙතෙක් කල් වුණේ.පක්ෂ බේදයකින් තොරව වැරදි කරන අයට දඬුවම් දිය යුතුයි. එම නිසා මම මේ ආණ්ඩුවේ ඉදගෙන හොරුන්ට දඬුවම් කරමු කියන සටන් පාඨය සමඟ ඉදිරියෙන්ම ඉන්නවා. ඒක කාගේ වුණත් මට කමක් නැහැ. ඒ යහපාලනයට මම එකඟයි. ඒත් අඩුපාඩු දුර්වලකම් තියෙන්න පුළුවන්. නමුත් දාලා දුවන්න බැහැනේ. මේක කොහොම හරි හදාගෙන ඉදිරියට යන්න  ඕනේ. අද එහෙම සටන් පාඨයක් හෝ තිබෙනවා. අද දේශපාලඥයෝ දවස් 15කට හෝ රිමාන්ඩ් එකට යනවා. ඒ වගේම එළියට එනවා. රෝහල් ගත වෙනවා. ඉස්සර එහෙම වුණේ නැහැනේ. එම නිසා යම් දෙයක් සිදු වෙමින් පවතින බව කියන්න  ඕනි. ඊළඟට මේ විධායක ජනාධිපති ක‍්‍රමය අන්තිම හොඳ නැහැ. ජනාධිපති මොන තරම් අසමත් ජාති අසාධාරණ අමානුෂික බලූ වැඩක් කලත්; ඔහුට විරුද්ධව මොනවත් කරන්න බැහැ. ඒක හරි භායනක දෙයක්. 19 වන ආණ්ඩුක‍්‍රම පනතින් ඒ විමුක්තිය අපි ඉවත් කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත්වන ආණ්ඩුවක් අවුරුද්දකින් විසුරුවා හැරීමේ බලය ඔහුට තිබුණා. එය හරි අසාධාරණයි. අපි ඒකත් ඉවත් කළා. දැන් අවුරුදු 4ක් යන තුරු විසුරුවන්න බැහැ. ස්වාධීන කොමිෂන් සභා ඔහුගේ බලයෙන් මුදවා ගෙන ස්වාධීන කොමිෂන් ස්ථාපිත කළා. එම නිසා පැවැතුන තත්වයට වඩා යහපාලනය පැත්තෙන් යම් දෙයක් සිදුකරලා තිබෙනවා. අනෙක 20 වෙනි සංශෝධන පනතට සම්බන්ධ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම්. මේ සදහා මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. දැන් බලන්න මේ මනාප ක‍්‍රමය නිසා මොකද වුණේ  බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරලා ඒවා අතපය දිග හැරලා වියදම් කරලා ජය ගෙන පාර්ලිමේන්තු එන ක‍්‍රමයක්නේ මනාප ක‍්‍රමය. ඒ නිසා කුඩු කාරයෝ අරක්කු කාරයෝ ගංජා කාරයෝ මාල කාරයෝ පාතාලයෝ පගා කාරයෝ ඔය හැම එකාම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇතුල් වුණා. මෙවැන්නෝ පාර්ලිමේන්තුවට යැව්වේ කවුද හිතා ගන්නකෝ පාර්ලිමේන්තුව කොහොමට තියෙන්න ඇද්ද කියලා. දැන් පාර්ලිමේන්තුවේ  ඕලෙවල් පාස් නැති අනූ ගණනක් ඉන්නවා. අනෙක් විභාග ගැන මම කියන්න යන්නේ නැහැ. සල්ලිකාර මෝඩයන්ට කීර්තියක් ලබා දෙන මණ්ඩපයක් බවට පාර්ලිමේන්තුව පත්වුණා.මෙය රටකට එතරම් සුභදායක නොවේ. එම නිසා යහපාලනයේ අඩු ලූහුඩුකම් තියෙන්න පුළුවන්. අපි ඒවා නිවැරදි කර ගෙන ඉදිරියටම යනවා.

ප‍්‍රශ්නය :

පසුගියදා වැලිඅමුණ පරීක්ෂණ කමිටු වාර්තාවක් මගින් හෙළිවූ කරුණු අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයටම අයිති එකම ගුවන් යානයක්වත් නැත. වර්තමානය වන විට මෙම ආයතනයේ පාඩුව රුපියල් මිලියන 81,000ක් පමණ වෙනවා. හිටපු ප‍්‍රධාන හා විධායක නිලධාරීන්ගේ දුෂිත පරිපාලනය ගැන විවිධ කථා ඇසෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෙහෙම වුණේ ඇයි ගුවන් සේවා ඇමති ලෙස මෙය විස්තර කරන්නේ කෙසේද?

පිළිතුර

එකක් මම ගුවන් සේවා ඇමැති මිසක් අධිකරණ ඇමැති නොවේ. එම නිසා මේ සඳහා දඬුවම් දෙන නීතිගත ආයතන තිබෙනවා. අල්ලස් කොමිසම අපරාධ විමර්ෂණ කොමිසම, මූල්‍ය අපරාධ පරීක්ෂණ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය ආදි ආයතන එම කොටසට අයත් වෙනවා. මේ සෑම ආයතනයකටම ඉහත චෝදනා අඩංගු ලිපිගොනු මම ලබා දීලා තිබෙනවා. එබැවින් ඒ අනුව අවශ්‍ය කටයුතු ඉදිරියේදි සිදුවේවි. යහපාලනය දඬුවම් කිරීමේදිත් යහපත් විධියට සිදුවිය යුතුයි.  මර්වින් සිල්වා මහත්තයා වගේ මිනිස්සු ගෙනැල්ලා ගස් බැදලා ඒවා කරන්න බැහැනේ. ඒකට නෛතික ක‍්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව දැන් කටයුතු සිදුවෙනවා. එය හොඳ ප‍්‍රවණතාවයක්. ඊළඟට මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය යනු සමාගමක්. මිහින් ලංකා යනු සමාගමක් නොහොත් කොම්පැනියක්. මෙහි කොටස් කාරයෝ කවුද මෙහි කොටස් කාරයෝ රාජ්‍ය භාණ්ඩාගාරයයි ලංකා බැංකුවයි, රජය සතු මුදල්. හැබැයි කොම්පැනියක්. ආණ්ඩු මාරු වෙන කොට කොම්පැනියත් මාරු වෙනවා. එහි නිලතල පුරවන්නේ ඊට අදාළ ඇමති වරයා. ඔවුන් ඉන්න ටික කාලයේ කාලා බීලා ජොලි දාලා පැරදුනාම පැනලා යනවා. එතකොට මෙහි වගකීම භාර ගන්නේ කවුද කවුරුවත් නැහැ. මෙය බරපතල වරදක්. දේශපාලන ඇගිලි ගැසීම් වැඩියි. මෙතෙක් කල් සිදුවුණේ ඔය ටිකයි. පවුලේ අය ඥාතියෝ මිත‍්‍රයෝ හෙංචයියෝ මේ ආයතනයේ වගකීම් ඇති නිලතල වලට පත්කළා. පසුගිය කාලේ මගීන් රැගෙන යන ගුවන් යානා තමන් ළඟට නැවත ගෙන්වා ගන්නා සභාපතිවරු ඉඳලා තියෙනවා. හිතලා බලන්න කොහොමට තියෙන්න ඇද්ද කියලා. ඒ වගේම ඉහත කමිටු වාර්තාව ඒ තරම්ම අංග සම්පූර්ණ වාර්තාවක් නොවේ. අඬුලූහුඩුකම් තිබෙනවා. මීට වඩා මේ ගැන සොයා බැලිය යුතුයි. අවශ්‍ය තොරතුරු දත්ත රැස්කර ගතයුතු වෙනවා. ඒ සදහා මම උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ඉදිරි කටයුතු සිදුවෙනවා.

ප‍්‍රශ්නය :

යුරෝපයේ පාසැල් නිවාඩු සමයට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකිකයන්ගේ ප‍්‍රමාණය ඉතා ඉහළය. මෙම කාලයට අප ගුවන් සේවයේ පැරීසියේ සිට කොළඹ දක්වා මිල ගණන් අනෙක් ගුවන් සේවා මිල ගනන් හා සසඳන විට ඉතාමත් ඉහලයි. එබැවින් වැඩි මගීන් ප‍්‍රමාණයක් වෙනත් ගුවන් සේවයන් විසින් දිනා ගෙන තිබෙනවා. අනෙක් ගුවන් පත‍්‍ර මිලට සමාන මිලකට හෝ අපේ ගුවන් සේවය ප‍්‍රධානය කරයි නම් ශ්‍රී ලාංකිකයෝ බොහෝමයක් අපේ සේවය තෝරා ගන්නවා. මෙම ඉල්ලීම බොහෝ කලක සිට හැම ගුවන් ඇමති කෙනෙකුටම ඉදිරිපත් කළ යෝජනාවක්. නමුත් මේ වනතුරු සලකා බැලීමක්වත් ඉටුවී නැහැ. ඔබ තුමාටත් එය ඉදිරිපත් කරනවා. ඔබ තුමාට කළ හැක්කේ කුමක්ද?

පිළිතුර

මැදපෙරදිග ගුවන් සේවා ලාභ ලබන්නේ ඇයි ඔවුන්ට- ගුවන් යානා ගොඩක් තිබෙනවා. එබැවින් ඔවුන්ගේ තරඟකාරිත්වය වැඩියි. ඒ සමඟම මෙම රටවල් ලෝකයේ තෙල් බලාධිකාරය සතු රටවල්. එබැවින් ඔවුන්ගේ ගුවන් සේවා සඳහා සහානාධාර ලෙස අඩු මිලකට ඉන්ධන සලාක ලබා දෙනවා. අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැනෙ. අනෙක මෙම මැද පෙරදිග ගුවන් සමාගම් කොතරම් ප‍්‍රබලද කීවොත් ප‍්‍රංශ ගුවන් සේවයටවත් ඔවුන් සමඟ තරග කරන්න අමාරුයි. ඔවුන් ඒ අතරින් ප‍්‍රබලයි. 2015 හොදම ගුවන් සේවය ලෙස තෝරා ගෙන තිබෙන්නේ කටාර් ගුවන් සේවයයි. ඉතින් අපිට තරඟ කරන්න වෙලා තිබෙන්නේ මෙවැනි පසුබිමක. අපේ ගුවන් සේවයේ වැරදි කළමණාකරණය අනවශ්‍ය වියදම්,දූෂණය අපේ ගුවන් සේවය කඩා වැටීමට හේතුවී තිබෙනවා . එම නිසා ඔබලාගේ ඉල්ලීම අනුව ටිකට් එක වැඩි බවත් එම මිල අඩුකල යුතු බවත් මම පිලිගන්නවා. ඒ සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලය සමග සාකච්ඡා කොට සහනදායි පිලිතුරක් ලබා දීමට මම වෙහෙසෙනවා. පැරීසියට පැමිණි පසු බොහෝ දෙනෙක් මෙම ප‍්‍රශ්නයම ඉදිරිපත් කළා. එහි සාධාරණ පැත්තකුත් තිබෙනවා. නමුත් ඒ සියලූ දේ අධ්‍යයන කොට අපට පාඩු නොවන ලෙස මැතිවරණයෙන් පසු මම මෙම අමාත්‍යාංශයේ හිටියෝත් ඔබලාට සුභ දායක පියවරක් ගැනීමට මම ඔබට පොරොන්දු වෙමි.

ප‍්‍රශ්නය :

පසුගිය දිනක ප‍්‍රංශ අගමැති  රාජ්‍ය ගුවන් යානයකින් තම දරුවන් සමඟ බර්ලින් වල මැච් බලන්න ගොස් ඇතිවූ සිද්ධියක් හේතු කොට දරුවන් සදහා ගුවන් ගමනා ගමන ගාස්තුවක් ගෙවීමට සිදුවුණා. එවැනි ගුවන් ගමන් ගැන අපේ රටෙත් පසුගියදා ඇසීමට ලැබුණා. එම නිසා ගුවන් හමුදාවට විශාල මුදලක් පාඩු සිදුවී ඇති බවත් සදහන් වුණා. ගෙවීම කෙසේ වෙතත් ඒ ගැන කෙරෙන පරීක්ෂණ වලට කැඳවීම් කළ විට එයට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. මෙම රටවල් දෙකේ වෙනස ඔබතුමා පැහැදිලි කරන්නේ කෙසේද?

පිළිතුර :

ප‍්‍රථමයෙන් එම ගුවන් යානයයේ ඉඩ තිබුණා නම් පුතුන් දෙදෙනා තම පියා සමඟ එම ගමනට එක්වීම එතරම් විශාල වරදක් ලෙස සලකන්න අපහසුයි. එලෙස විවේචනය කිරීමත් එතරම් ශීලාචාර නොවේ. එසේ නම් තුන් හතර දෙනෙකුට පමනක් ගමන් කළ හැකි ගුවන් යානයක් ඔවුන් තෝරා ගත යුතුයි. එහෙම කරන්නත් බැහැනේ. ප‍්‍රංශ අගමැති තුමා එම මුදල ගෙවීම සාධාරනයි ඒ ගැන මම සතුටු වෙනවා. නමුත් එවැනිම ප‍්‍රශ්නයකට අපේ රටේ ප‍්‍රතිචාර දැක්වීම අපට වැදගත් වන්නේය. ඒ ගැන සළකා බැලූවොත්; මම අවංකව දරන මතය නම්; සාමාන්‍ය පුද්ගලයෙක් ගෙන් විමර්ශනය කරන ආකාරයටම රාජ්‍ය නායකයෝ හෝවෙන කවුරු හෝ වේවා, ඔවුන්ටද ඒ ආකාරයෙන්ම විමර්ශන පරීක්ෂන සිදුවිය යුතුයි. දැන් බලන්න අපේ අය ප‍්‍රශ්න කිරීමට හෝ කට උත්තර ගැනීමට සුදානම් වෙන විට කෙලින්ම යන්නේ හොස්පිටල් එකට. එහෙම නැත්නම් මර්චන්ට් වෝඩ් එකට. විමර්ශනය වචනය ඇසෙන කොටම ලෙඩ හැදෙනවා. සාමාන්‍ය කෙනෙකුට නම් මොකද වෙන්නේ කෙලින්ම කූඩුවේ දානවා. ඒකනේ ඇත්ත තත්වය. හිර ගෙදරත් ඉස්පිරිතාලයක් තියෙනවා. එහෙම තියෙද්දිත් මර්චන්ට් එකට යනවා. එවැනි වරප‍්‍රසාද දෙන එක වැරදියි. දැන් මේ අය සමඟ මහා ජනතාවක් උද්ඝෝෂණ කරනවනේ. දැන් කොහොමද මහ ජනතාව අර්ථ කථනය කරන්නේ. ජනතාව මහ ජනතාව කියලත් කියනවනේ. මේ රටේ ජනතාවගෙන් යම්කිසි කොටසක් යම් යම් පෙලඹවීම් මත ඔවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. අපට ඒවා වලක්වන්නත් බැහැ. එය හරිද වැරදිද කියලා අපි තීන්දු කළොත් මම නම් දකින්නේ එය වැරදි ප‍්‍රවේශයක් කියලා. නමුත් ඒවා කරන්නත් ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතියක් තියෙනවා. අපි ඒකට ගරු කරනවා. නීතියානු ක‍්‍රියා පිලිවෙතට පරිබාහිරව වැරදි ක‍්‍රමයට අත් අඩංගුවට ගන්නවා නම් , ප‍්‍රශ්න කරනවා නම් ඒක වැරදියි. ඒකට උද්ඝෝෂණ කලාට වරදක් නැහැ. නමුත් නීත්‍යනුකූල ක‍්‍රමයට එම කටයුතු සිදුවෙන විට එහෙම කරන්න එපා කියලා කියනව නම් ඒකත් වැරදියි.

web1 web2